සත්ව සුබසාධන පනතට එරෙහි වන්නේ ගව ඝාතකයෝ සහ කුකුළු කොටු, ඌරු කොටු කාරයෝ !

May 26, 2020

’‘සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” යන දාර්ශනිකත්වය මුසු වූ අපූරු ගී සංකල්පනයේ නිර්මාතෘවරයාණන් ද වන අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් මේ මිහිතලය යනු මිනිසුන් ගේත් සතුන් ගේත් සම උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ප්‍රබුද්ධ මානව චින්තනයෙහි දැඩිව පිහිටා කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමකි. වර්තමානයේ අප රටේ පැන නැඟී ඇති සත්ව හිංසන ප්‍රවණතාවය සම්බන්ධයෙන් උන් වහන්සේ අප හා අදහස් පළ කරන ලද්දේ මෙලෙසිනි.

■ ස්වාමීන් වහන්ස, සත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් සියයකට සීමා වීම මත අප රටේ සත්ව හිංසනයට වැට බැඳිය හැකිද?

ඔය දඩ මුදල නියම කොට ඇත්තේ 1907 වසරේ සම්මත වූ අංක 13 දරන සත්ව හිංසා වැලැක්වීමේ ආඥා පනත යටතේ නේ. ඔය පනත සම්මත කළේ එවකට අප රට පාලනය කළ ඉංග්‍රීසීන්. නමුත් විශේෂයෙන් මතක තියා ගන්න; ඔය කාලය වෙන කොට රුපියල් සියය කියන්නේ සුළුපටු ගාණක් එහෙම නොවෙයි. මේ අනුරාධපුරයෙන් ඉඩම් අක්කර කීපයක් වුණත් ගන්න තරම් ප්‍රමාණවත් මුදලක්. ඒ අනුව බලනකොට ඒ කාලේ රුපියල් සීයක අද කාලේ රුපියල් මිලියන ගාණක වටිනාකමක් තියනවා. ඒ අනුව ඒ පනත සම්මත කරපු ඉංග්‍රීසීන්ට අපි ස්තුති කළ යුතු විනා, බැන වැදිය යුතු නැහැ.

■ නමුත් ඉංග්‍රීසීන් ඒ පනත සම්මත කළේ අපේ රටේ පශු සම්පත් සංවර්ධනය ඉලක්ක කරගෙන මිස සත්ව අවිහිංසාව මුල් කරගෙන නොවෙයි නේද?

මූලික අරමුණ ඒක තමයි. නමුත් ඒ පනතට අනුව සියළුම ගෘහස්ථ සහ අල්ලාගත් සතුන් නිරාහාරව තැබීම, තුවාල වන අයුරින් සිරකර හෝ බැඳ තැබීම, සතුන්ට වේදනාගෙන දෙන අන්දමින් වද හිංසා පැමිණවීම, නොසැලකිලිමත් කම පදනම් කොට සතුන් වේදනාවට පත් කිරීම, සතුන් පීඩාවට පත් වන ලෙසින් කූඩුවක, පෙට්ටියක හෝ වාහනයක රැගෙන යාමත් නීතිමය වරදක්. අනවශ්‍ය සහ කෲර ලෙසින් සතෙකු මරණයට පත් කිරීමත් ඒ ආඥා පනතට අනුව නීතිමය වරදක් ! මෙතන අනවශ්‍ය කියන වචනය යොදා ගෙන තිබෙන්නේ සත්ව නිෂ්පාදන ව්‍යාපාරවලට බලපෑමක් නොවන විදියට වෙන්න පුළුවන්. නමුත් 1907 සිට 1955 දක්වා නව වරක් සංශෝධනය වුණු මේ පනතේ අඩුම තරමින් අර දඩ මුදල රුපියලකින් වත් වැඩිවෙලා නැහැ. ඉතින් අපි කොහොමද ඒ පනත සම්මත කරපු ඉංග්‍රීසීන්ට බනින්නේ.

■ නමුත් ස්වාමීන් වහන්ස සත්ව අවිහිංසාව, සත්ව හිමිකම් සහ සුබසාධනය පිළිබඳව ලෝකයේ නව පුබුදුවක්, උනන්දුවක් ඇති වී තිබෙනවා නේද?

ඔව්; මේ ලෝකයේ ජීවත් වන සතුන් අතුරින් බුද්ධිමය පරිනාමයකට හිමිකම් කියන එකම සත්වයා මිනිසායි. ඒ අනුව මේ ලෝකය දෙවියන් විසින් මිනිසුන් උදෙසා පමණක් මැව්වාය කියන යල් පැන ගිය මානව මතවාදය බැහැර කොට මිනිසා කියන්නේ සොබා දහමේ නිපැයුමේ එක් කොටසක් විතරයි කියන මතයත් මේ මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් පොදු උරුමයක් ය කියන මතයත් ලෝකය පුරා වේගවත්ව ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

■ මේ සම්බන්ධයෙන් ලොව සුවිසල්ම ආගමික ප්‍රජාව වන කිතුණුවන් තුළ පවතින ආකල්පය පිළිබඳවත් ඔබ වහන්සේට යමක් කිව හැකිද?

දහතුන්වන සියවසේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ පරම අවිහිංසාවාදී පූජක තුමෙකු පසුව ශාන්ත ෆ්‍රැන්සිස් නමින් සාන්තුවරයට පත් වුණා. කිතුණු ඉගැන්වීම් වලට අනුව මේ ලෝකය දෙවියන් ගේ මැවීමක් නම් මිනිසුන් සේම සතුන් ද දෙවියන්ගේම නිර්මාණයක් බවට එතුමන් පළ කළ දාර්ශනික මතයට පසුකාලීනව ලෝක පිළිගැනීමක් ලැබුණා. මිනිසුන් සේම සතුන් ද ස්වර්ගයට හිමිකම් කියන බව ප්‍රකාශ කොට සිටි එතුමන් සතුන් උදෙසා යාඥා කිරීමට පවා පසුබට වුණේ නැහැ. පසුව කිතුණු අවිහිංසා වාදයේ මුනිවරයා ලෙස ලොව පුරා හැඳින්වුණු එතුමන් ගේ ස්වර්ගස්ථ වීම මුල් කරගෙන තමයි සෑම වසරකටම ඔක්තෝබර් 04 ලෝක සත්ව දිනය වශයෙන් ප්‍රකාශයට පත් වී තිබෙන්නේ. ඉතින් ඒ මදිද සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් ලෝක කිතුණු ප්‍රජාවගෙන් ලැබී ඇති දායකත්වය.

■ ඒත් ස්වාමීන් වහන්ස, එදා මෙදා තුර අපේ රටේ සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් අනපනත් සම්මත වී නැහැ නේද?

2011 වසරේ එළැඹි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පූර්වගාමීව එවක රජය 2006 වසරේ සිට සුනඛ ඝාතනය ප්‍රතිපත්තිමය වශයෙන් නතර කළා. ඒ වගේම කුරිරු ඝාතන, වද වේදනාවලින් තොරව ජීවත්වීම සම්බන්ධයෙන් සතුන්ට හිමි ස්වභාවික අයිතිය තහවුරු කෙරෙන සත්ව සුබසාධන පනත් කෙටුම්පතක් ඒ වසරේම ඉදිරිපත් වුණත් අද දක්වාම ඒක සම්මත කරගැනීමට එදා මෙදා තුර සියළුම රජයන්ට නොහැකිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජනතා ඉදිරිපත් වීමක් ඇති බවකුත් පෙනෙන්නට නැහැ. එය ලජ්ජාවට කාරණයක් !


■ ඒ සඳහා හේතු මොනවාද?

අදටත් අපේ රටේ මහා පරිමාන කුකුළු සහ ඌරු කොටු ආදිය පවතින්නේ ලෝකයේ බෞද්ධ යැයි කියන අන් රටවලට වඩා ඉතාමත් පහත් තත්වයෙන්. ඒ අනුව අපේ රටේ ජනතාවගේ ආහාර පිණිස ඝාතනය වීමට නියමිත ඒ අසරණ සතුන් ගේ මුළු ජීවිත කාලයමත් අධික දුක්වේදනාවලින් පිරී පවතින බව ඔවුන් කූඩු කොට, ගාල් කොට ඇති අයුරින්ම පැහැදිලි වෙනවා. ඒ ව්‍යාපාරිකයන් එසේ කරන්නේ එලෙස සතුන්ට අධික දුක් පැමිණ වීමෙනුත් අධික ලාභයක් ලැබීමටයි. මෙය මහා පරිමාන ව්‍යාපාර ජාලයක්. නමුත් යෝජිත සත්ව සුබසාධන කෙටුම්පත කියැවීමේ දී හොඳින්ම පෙනෙනවා; ඒ පනත නීති ගත වුණොත් ඒ කුකුළු කොටු, ඌරු කොටු හිමියන්ට සහ ගව ඝාතකයන්ට දැනට සැලසී ඇති පහසුකම් සැලකිය යුතු ලෙසින් අවම වෙන බව; මේකත් සත්ව සුබසාධන පනත දිනෙන් දිනම යටපත් වීමට බලපාන හේතුවක් බවයි මට නම් හැඟෙන්නේ.

සංවාදය
තිලක් සේනාසිංහ

t

o

p