මෙරට නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක

September 23, 2024

ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනුර කුමාර දිසානායක මහතා එලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිහිපත් කරනලදි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාමත් අභියෝගාත්මක රටක් තමන්ට ලැබුණු බවයි.

පවතින දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතු බවත්, ජනතාව අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනුවෙන් තමන් කැපවන බවටත් දිසානායක මහතා එහිදී සහතික විය.

එමෙන්ම තමා ඉන්ද්‍රජාලිකයෙකු නොවන බවත්, තමන්ට සිදුකළ හැකි සහ නොහැකි කටයුතු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“මා මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා.. මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ.. මා මැජික්කරුවෙකු නොවේ.. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය වැසියෙක්.. හැකියාවන් තිබෙනවා.. නොහැකියාවන් තිබෙනවා.. දන්න දේවල් තිබෙනවා.. නොදන්න දේවල් තිබෙනවා.. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක් රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි.. ඒ නිසා ඒ සාමුහික මැදිහත්වීමේ පංගුකරුවෙකු කොටස්කරුවෙකු බවට පත්වීම තමයි මගේ වගකීම.. මෙම අර්බුදය නිමාකිරීමේදී සියළු කේෂ්ත්‍රවලට වගකීමක් තියෙනවා.. මං මේ මොහොතේ සියළු දෙනාගේ සහය අපේක්ෂා කරනවා.. මේ අභියෝගය පියවීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටුකරන බවට මම මේ සමාජෙට ඒත්තු ගන්වන්න සූදානම්.. අපේ රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.. ලොකේ කවර බෙදීම් තිබුණත් අප ඒ සහය ලබාගත යුතුයි.. අපේ රට ලෝකයෙන් හුදකලා විය යුතු රටක් නෙමෙයි.. ඒ නිසා අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ගත යුතු තීන්දු තීරණ ගන්න මම සූදානම්..”

මේ අතර පසුගිය 21 වැනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,740,179ක්.

මැතිවරණයෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් වු අනුර කුමාර දිසානායක මහතා මෙලෙස මෙරට විධායක ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත් වුණා.

ඒ මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙසයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා අද ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් ලබාදීමෙන් අනතුරුව සිය ධූරයේ කටයුතු ආරම්භ කරනලදි.

t

o

p