රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා පෙන්නුවා – ඇමති අලි සබ්රි

August 21, 2024

රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් පවසයි.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් සඳහන් කළේ මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ක් මෙවර මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය භාවිතා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අලී සබ්‍රි මහතා –

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව හා මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂා පිළිබඳවත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද වෙනතුරු ගෙනගිය වැඩසටහන පිළිබඳවත් විශ්වාසය තබනවා. විශේෂයෙන්ම අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ මැතිවරණය පහුගිය මැතිවරණ වලට සාපේක්ෂව මිනිස්සු ජාති, ආගම් ගැන මහ ලොකුවට කතා කරන්නේ නෑ. හැමදෙනාම බලාපොරොත්තුවෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.

මුස්ලිම් ප්‍රජාව හැටියට අපි දකින දෙයක් තමයි අපිට මොනාද අවශ්‍ය සාමය අවශ්‍යයි. රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍යයි. වෙළෙඳ ප්‍රජාව ට ආර්ථිකය තමයි වැදගත්ම දේ. ආර්ථිකයේ කඩන් වැටුනොත් ඔවුන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය කඩන් වැටෙනවා. ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සීමා වුනොත් වෙළඳ කටයුතු කරගන්න බැරි වෙනවා. ඒක විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. ඊට පස්සේ වැදගත්ම දේ වෙන්නේ භූමිය තුළ සියලු දෙනාටම සමානව ජීවත්වීමේ හැකියාව ලබාදීම. පහුගිය අවුරුදු දෙකට සාපේක්ෂව අද ලංකාව තිබෙන දිශානතිය දිහා බලලා විශාල වශයෙන් මුස්ලිම් ජනතාව කැමැත්තෙන් ඉන්නවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳව. රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනගලා පෙන්නුවා. 1999 ලංකාවේ ප්‍රථම වතාවට යුද්ධය මධ්‍යයේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුණා. 2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව භාරගෙන 2004 වෙනකන් අගමැතිවරයා හැටියට ආර්ථිකය ගොඩ ගත්තා.

2022 දී වෙන කාටත් භාරගන්න බැහැ කියපු අවස්ථාවක අවසාන වශයෙන් හැමෝම කර ඇරපු වෙලාවක ජනාධිපතිතුමා බාර අරගෙන අද වෙනකොට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. එම නිසා අපේ සමාජය තුළ මේ අත්දැකීම් ඇති නායකයා මේ කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න කවුරුත් කැමති නැහැ. ඇයි අපි තවත් අත්හදා බැලීම් කරන්නේ. ඒ නිසා එතුමාට මේ පාලනය බාර දිය යුතුයි. අපි නියෝජිතයින් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුවෙලා ජනාධිපතිවරයාට සහාය පළ කරනවා.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් –

එදා ඔක්කොම එකතුවෙලා වඳ කොත්තු කියලා ජාතිවාදය ඇති කරලා රජයක් ඇතිකරලා ගෝඨාභය රාජපක්ෂ බලයේ පිහිටෙව්වා. අවුරුදු දෙකකදි රට විනාශ වෙලා ගියා. ව්‍යාපාර ටිකක් ඉවර වුණා. සජිත් ප්‍රේමදාස, අනුර දිසානායකට භාරගෙන කරන්න කිව්වා. කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. කාටවත් බැහැ වැටිච්ච රටක් ගොඩගන්න. පලපුරුද්ද නැහැ. රනිල් වික්‍රමසිංහ විතරයි අන්තිමට මම බාරගන්නම් කියලා බාරගත්තේ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩගත්තා.

මෛත්‍රීපාල සිරිසේන වැටිච්ච රටක් නෙමේ බාරගත්තේ. ගෝඨාභය රාජපක්ෂ භාරගත්තේ වැටිච්ච රටක් නෙමෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ භාරගත්තේ වැටිච්ච රටක්. කන්න නෑ. තේ ටික නැහැ. පෙට්‍රල් නෑ. ඩීසල් නෑ. කරන්ට් නැහැ. ඒ වගේ වැටිච්ච රටක්. මිනිස්සු ඔක්කොම රටින් පැනලා ගියා. ගොඩක් අය කිව්වේ රට ගොඩ ගන්න බැහැ මේ රට හරියන්නෙ නැහැ කියලයි.

දැන් කන්න බොන්න ටික තියෙනවා. ඉන්දන ටික තියෙනවා. හැමදේම තියෙනවා. ඒ නිසා මේ රට පල පුරුදු නායකයෙකුට අපි දෙන්න ඕනේ. අපි හිතුවේ රට ගැනයි. අපි රට ගැන හිතලා තමයි අද රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න ඕනෙ එතුමාට නෙවෙයි. අපේ ජනතාවටයි. තමන්ගේ පක්ෂය හදන්න ඕන නම් තමන්ගේ පක්ෂයෙන් රට භාර ගන්න තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ පක්ෂය එපා කියල රට ගොඩ ගන්න ස්වාධීනව ඉදිරිපත් වුණා. අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනිත් නායකයන්ට ඕනේ එයාලගේ පක්ෂය ගොඩනගන්නයි. මේ වෙලාවේ පක්ෂ හදන්න ගියොත් මිනිස්සු බඩගින්නේ.ගෑස් සිලින්ඩරේ ලාංඡනයෙන් එතුමා ස්වාධීනව ඉදිරිපත් වුණා. මේ රටේ සියයට තිස්තුනක් ඉන්න සුළු ජනතාව.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතා –

මේ වෙලාවේ අභියෝගය පැහැරහැරපු අයයි අභියෝගය දිනපු අයයි අතරයි මැතිවරණය තියෙන්නේ. අපේ රටට අභියෝගයක් ආපු වෙලාවේ නායකයෝ දෙන්නෙක් මීටර් සීය දුවලා තමන්ගේ අභියෝගයෙන් පැනලා ගියා. ලංකාව ආජන්ටිනාව වගේ රටක් වෙයි කියලා හැමෝම කියද්දි මට පුළුවන් කියලා ආව එකම එක්කෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අභියෝගය බාරගත්ත නායකයයි අභියෝගයෙන් පලා ගියේ නායකයො දෙන්නයි අතර තමයි තරඟය තියෙන්නේ.

මේ වෙලාවේ අපි සමස්ත ලංකාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා රටේ ජාති, ආගම්, කුල, මල භේදයක් නැතුව ලංකාවෙ ජීවත් වෙන්න ඕනෙනම් ලංකාවේ දියුණුව බලන්න ඕනෙනම් මේ අභියෝගයට මුහුණ දෙන්න බැරි නායකයෙකුට දීලා නැවත වාරයක් වැටිච්චි වලේ වැටෙනවද හරි ගමනක් යනවද කියලා තීරණය කරන්න.

බංග්ලාදේශයේ ආර්ථිකය ඉහළයි. හැබැයි පරිපාලනය දුර්වලයි. ලංකාවේ ආර්ථිකය දුර්වලයි. පරිපාලනය ඉහළයි. ලංකාවේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ ගාව ජාතිය, ආගම්, කුළ, මල භේදයක් නැහැ. ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා බොරුවලට රැවටෙන්න එපා.

බුද්ධිමත් තීන්දු ගන්න. මේ රටේ බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවත් එක්ක ඒකට ඉන්න ඔබට අවශ්‍යයි. ජාති, ආගම්, කුල, මල භේද අභියෝගය එනකොට මුහුණ දෙන්න බැරි නායකයෝ තමයි අනිත් පැත්තෙ ඉන්නේ. අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් එකම නායකයා නිල් වික්‍රමසිංහ පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම් ෆවුසි මහතා –

ටෙස්ට් කරන්න නායකවරු ගේන්න ඕන නැහැ කියලා දයාසිරි ජයසේකර කියනවා. චම්පික රණවකත් කියනවා මේකේ ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. මේ දෙන්නම සජිත් මහත්තයාට උදව් කරන්න ගිහින්, රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා වගෙයි කතා කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මේ වෙනකොටත් විභාගයෙන් පාස් වෙලා ඉවරයි. ආර්ථික වශයෙන් වැටුණු රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතුමා භාර ගත්තාට පස්සේ ඉදිරියට ආවා. මේ වෙලාවේ අනිත් අය ඇවිත් ටෙස්ට් කරන්න ගියොත් වෙන්නේ අපේ රට බංකොලොත් තත්ත්වයට වැටෙන එකයි. එහෙම වුනොත් ආයෙත් ඔලුව උස්සන්න අමාරු බැරිවෙයි.

ඒ නිසා මුස්ලිම් මන්ත්‍රීවරු විදියට අපි අපේ සමුපූර්ණ ශක්තිය යොදවලා මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් ලබා දෙනවා. පහුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක මන්ත්‍රීතුමාට මුස්ලිම් ඡන්දවලින් 60% ක් ලැබුණා. මෙදා වතාවේ මුස්ලිම් ඡන්දවලින් 20%ක්වත් ලැබෙන්නේ නැහැ. එදා සජිත් යූ. එන්. පී අපේක්ෂකයා නිසා සජිත්ට ලැබුනේ යූ.එන්.පී. ඡන්ද. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙදි ඒ ඡන්දවලින් අඩක්ම සජිත් අහිමි කර ගතතා. මේ පාර ඒ සියලුම ඡන්ද අපේ ජනාධිපතිතුමාට හිමිවෙනවා. ඒකට අපිට ශක්තිය තියෙනවා. මේ රට ඉදිරියට යන්න ඕන නම්, මේ රට දියුණු වෙන්න අවශ්‍ය නම්, ආසියාවේ හොඳම රටක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය නම් අපේ ජනාධිපතිතුමා තව අවුරුදු පහක් අඩුම ගානේ මේ පාලනය ගෙනයන්න ඕනේ.

කාදර් මස්තාන්, එස්.එම්.එම් මුෂාරෆ්, සහ අලි සහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

t

o

p