IMF තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබේවි

August 11, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

තෙවැනි වාරිකය දීමට අදාළව ජනාධිපතිවරණයෙන් පසුව සමාලෝචනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය.

කෙසේ නමුත් තෙවැනි වාරිකය ලැබීමට නියමිත කාලය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම සමාලෝචනයෙන් අනතුරුව බවද ඔහු කීවේය.

අදාළ සමාලෝචනයෙන් අනතුරුව වාරිකය නිදහස් කිරීමට යම් කාලයක් ගතවන බැවින් බොහෝ විට තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබෙනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ ය. මේ අතර කවුරු කෙසේ කීවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකම්වලට අදාළ යෝජනා වෙනස් කිරීමට නොහැකි බව දැනුම් දී ඇතැයිද හෙතෙම පැවැසීය.

තවද එම යෝජනාවන් වෙනස් කරන්නේ නම් විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනෙන් ඉවත්වීමට සිදුවන බව ද එලෙස යෝජනා වෙනස් කළහොත් ණය හිමියන් සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අවලංගු වන බවද ඔහු කීවේය. එසේ වුවහොත් රට යළි අවදානම් තත්ත්වයකට පත්වන බවත්, ඇතැමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වෙනස් කළ යුතු බව කියන්නේ අර්බුදයකට අත වැනීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළැඹ ඇති මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක් (2.9) අවස්ථා හතරකදී දීමට නියමිතය. අදාළ ණය මුදලේ වාරික 2 ක් මේ වන විට ශ්‍රී ලංකාව ගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 667 කි.

t

o

p