තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ තරුණ හමුවට එක් වෙමින්.
“දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.
මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියි.
එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්විමට ද අමතක කළේ නැහැ.
මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.