බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට රජයේ සහාය

July 31, 2024

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව කියා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමින්.

75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසන ලදි.

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

බාල දක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

t

o

p