බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මකයි

July 25, 2024

බුදු දහම මෙන්ම මෙරට ඉතිහාසය විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා විය. එසේම ධර්ම විකෘතිය සිදු කරන පුද්ගලයන් 85 ක් මේ වන විට හදුනාගෙන ඇති බවද මෙහිදී හෙළි විය.

ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය මහාචාර්ය මාවතගම පේමානන්ද හිමිවරු ද නීතිඥ කල්‍යාණන්ද තිරානගම, නීතිඥ රාජා ගුණරත්න, මතුගම සෙනෙවිරුවන් සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාරක සංඝ සභාවේ තීරණය අනුව යම් විනය විරෝධී භික්ෂුවක් භික්ෂුත්වයෙන් නෙරපීම සිදු කළද ඔවුන් තවදුරටත් සිවුර දරාසිටීම තහනම් කිරීම සදහා නෛතික බලයක් කාරක සංඝ සභාවට නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය නීති සංශෝධන සිදු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. එසේම භික්ෂු නාමයෙන් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් වන “භික්ෂූ ප්‍රතිරූපකයන්” හෙවත් “සද්ධම්ම ප්‍රතිරූපකයන්” මේවන විට වැඩි වෙමින් පවතින බැවින් ඔවුන් හදුනාගෙන ඊට අදාළ පියවර ගැනීම සදහා කඩිනමින් මැදිහත් විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍යා මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරිණි. එසේම මේ සම්බන්ධයෙන් ගතහැකි පියවරවලට අදාළ යෝජනා සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ අනුව තවත් රැස්වීම් වාර දෙකකින් අනතුරුව අදාළ යෝජනා නිර්දේශ වශයෙන් සකස්කොට මහානාහිමිවරුන් දැනුවත් කොට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් අනතුරුව එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරන බව සංසදයේ සභාපති ගරු ජයන්ත සමරවීර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ වීරසුමන වීරසිංහ යන මහත්වරු ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

t

o

p