බස්නාහිර පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 1720ට ස්ථිර පත්වීම් 

July 16, 2024

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයන්හි ස්ථිර නොවූ, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් තාවකාලික, සහන පදනම් සේවකයන් 1720ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජීවිතයට පමණක් නොව සේවය කරන ආයතනයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමට කටයුතු කරන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පළාත් පාලන ආයතනවල සේවය කරමින් සිටි ඔබ ස්ථිර කරන දිනය අදයි. ඔබ වෙනුවෙන් මේ දිනය උදා කිරීමට ආණ්ඩුවටත්, පළාත් සභාවටත්, අපේ අමාත්‍යාංශයටත් විශාල ශක්තියක් වුණ රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මන්ත්‍රීවරුන්ගේත්, ඔබේත්, රාජ්‍ය අමාත්‍යාංශයේත් හඬ ඉදිරියට ගෙනාවේ අපේ රට අඛණ්ඩව මූල්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවකයි.

පසුගිය වසර අපට බොහෝම දුෂ්කර වසරක් වුණා. සිටි තැනින් හිස එසවීමේ දැවැන්ත භාරකාරත්වය ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සියලු අභියෝග මැද පළාත් පාලන ආයතනවල තාවකාලික, කොන්ත්‍රාත් සේවකයන් වෙනුවෙන් විශේෂ සහයෝගයක් ලබා දීමට ජනාධිපතිවරයා මැදිහත් වුණා. අපේ මන්ත්‍රී කණ්ඩායම පළමුවෙන් ඔබ වෙනුවෙන් කතා කරපු දවස, අපේ වෘත්තීය සමිති එකමුතුව ඔබ වෙනුවෙන් කතා කරපු දවස වගේම ජනාධිපතිවරයා හා අප මුණගැසුණු අවස්ථාවේත් මූල්‍ය තත්ත්වයේ අමාරුකම නිසා ඔබව ස්ථිර කරන්න බැහැ කිව්වේ නැහැ. තාවකාලික හෝ කොන්ත්‍රාත් ඉන්න කිසිම සේවකයෙක් අයින් කරන්න එපා යැයි එතුමා උපදෙස් දුන්නා. ආර්ථිකය ජයගෙන ප්‍රශ්නය විසඳන්න ශක්තියක් ලැබෙන තෙක් අඛණ්ඩව ඔබේ සේවා කාලය දිගු කරමු කිව්වා. ජනාධිපතිවරයා ඒ විශ්වාසය අපට ලබා දුන්නා. මහජනයා කෙරෙහි තිබුණු විශ්වාසයයි, අමාරු තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසයයි එතුමාට තිබුණා. පසුගිය වසරේ අපේ ඇමැති මණ්ඩලයත් ජනාධිපතිවරයත් සාකච්ඡා කර අභියෝග රැසකට මුහුණ දෙමින් සරලව ඒ ප්‍රශ්න හරහා ගමන් කළා.

ඔබ කුමන රැකියාවක් කළත් අද ලැබෙන්නේ ස්ථිර පත්වීමක්. මේ දවස අමතක නොවන දිනයක් විදිහට බොහොම ආඩම්බරයෙන් කතා කරන්න. ඔබේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයකටයි අවතීර්ණ වෙන්නේ. අපි ඔබගෙන් ඉල්ලන්නේ තමන්ගේ රාජකාරිය එලෙසම ඉටු කරන්න. වෙලාව පිළිබඳවත් නොසලකමින්, මුහුණ දෙන්න වෙන තත්ත්වයන් ගැන නොසලකමින් පළාත් පාලනය හරහා ඉටු කරන ජනතා සේවය ඉටු කර තිබෙනවා. ඉදිරියටත් එසේම ඔබේ සේවය දෙන්න.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක, ඇමැතිවරුන් වන විදුර වික්‍රමනායක, නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, මදුර විතානගේ, යදාමිණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර, ඒ. එච්. එම්. ෆවුසි, සංජීව එදිරිමාන්න, අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජේසිංහ මහත්වරුන්, දිසාපතිවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් හා පත්වීම්ලාභීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p