කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතා අයිතියට

July 10, 2024

කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරමින් එහි කාර්යාල ගොඩනැඟිල්ල ගාල්ල කරන්දෙණියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කිරීමට නියමිතය.

මේ දෙපාර්තමේන්තුව් ප්‍රධාන කාර්යාලය මෙහි ස්ථාපිත කරනු ලබන අතර, කුරුඳු නිෂ්පාදනය පිළිබඳ සකස් කරනු ලැබූ දස අවුරුදු සැලැස්මද මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරේ. කුරුඳු වගාව සහ නිෂ්පාදනය සම්බන්ධ සියලු තාක්ෂණික තොරතුරු ඇතුළත් කුරුඳු අත්පොත මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර, එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවා සහ කුරුඳු වගාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවියද ජනපති අතින් නිල වශයෙන් මෙහිදී විවෘත කෙරේ.

ශ්‍රී ලංකාවේ කුරුඳු සම්බන්ධ පර්යේෂණ සිදු කරන එකම පර්යේෂණ ආයතනය වන මාතර පලොල්පිටියේ පිහිටි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සන්දේශයට මේ වසරේ ජනවාරි 24 දින අනුමැතිය හිමි විය. 2023 වසරේදී මෙරට කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 212ක විදේශ විනිමයක් උපයාගෙන ඇති අතර, මේ වන විට මෙරට කුරුඳු වගාව හෙක්ටයාර් 36,000ක පමණ භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී පවතී. එහි වාර්ෂික අපනයන පරිමාව මෙ.ටො. 19,500ක පමණ අගයක් ගනියි.

මේ දෙපාර්තමේන්තුව කරන්දෙණියේ සථාපිත විමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ අතුරින් වැඩිම වගා ඉඩම් ප්‍රමාණයක් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කරන්දෙණිය වීමය.

t

o

p