ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 100ක් ශ්‍රී ලංකාවට

July 9, 2024

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහතා අතර අද (09) මුදල් අමාත්‍යාංශයේ දී පැවැතිණි. අදාළ වැඩසටහන දැනට ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර ඔපෙක් අරමුදල මගින් ඒ සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික දායකත්වයක් දැක්වීම සඳහා එකඟත්වය පළ කර තිබේ. ඔපෙක් අරමුදල මෙරට ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවර පිළිබඳ අමාත්‍යවරයා එහි දී කළමනාකාරවරයා වෙත කෘතඥතාව පළ කළේය.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ සිට හුරුලු වැව සහ මහ කනදරාව වැව දක්වා මෙම ව්‍යාපෘතිය මගින් පෝෂණය වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ පසුගිය ඔස්ට්‍රියානු සංචාරයේ දී ද මෙහි දී විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත් වූ අතර එහි තවත් සාකච්ඡා වටයක් අද දින මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට කෘෂිකාර්මාන්තය වෙනුවෙන් සිදු කෙරෙන දිගු කාලීන ව්‍යාපෘතියක් වන මේ සඳහා ඔපෙක් අරමුදල මගින් මුදල් වෙන් කිරීම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය හේතු වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මතුව ඇති විශ්වාසය ඊට හේතුව බව ද අමාත්‍යවරයා පැවැසීය. ඔපෙක් අරමුදල මගින් මීට පෙර අවසන් කරන ලද ව්‍යාපෘති 13ක් වෙනුවෙන් සිය දායකත්වය දක්වා ඇති අතර එම ආධාර යටතේ තවත් ව්‍යාපෘති 7ක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

t

o

p