ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගමනය ප්‍රශස්තයි

June 29, 2024

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගමනය හේතුවෙන්, අතරමඟ නතර කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු මෙලෙස අතරමඟ නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි.

කොළඹදී ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා:

“එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවට ණය අර්බුදය විසඳීමට සහාය වීම සඳහා ජපානය උපරිම අන්දමින් කටයුතු කරනවා. අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ වහාම මෙරට ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම වේගවත් කිරීමට අප උත්සාහ කරනවා. මූල්‍ය අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට අබණ්ඩව සහාය වනවා.”

t

o

p