EPF ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක්

June 21, 2024

මහබැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සදහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහබැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහබැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන බවත් නිලධාරීහු පැවසූහ. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මාස 6කට වරක් දත්ත ලබා ගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවයි. ජනතාවගේ ආරක්ෂාව සදහා එය අත්‍යවශ්‍ය බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

මේ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහබැංකුව සහ කම්කරු කාර්යාලය ඒකාබද්ධ රැස්වීමක් කඩිනමින් පැවැත්වීමට ද උපදෙස් දුන්නේය.

ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සදහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි භාවිතා නොකිරීම පිළිබඳව ද අවධානය යොමු විය. 2021 වසරේ ඒ සදහා ලබා දී ඇති මුදලින් 84%ක් ඉතිරි කොට ඇති බවත් 2022 වසරේදී 53%ක් ද 2023 වසරේ 91%ක මුදලක්ද භාවිත නොකර ඉතිරිකොට ඇති බව ද කාරක සභාපතිවරයා පැවසීය. කම්කරු දෙපාර්තමේන්තුමේන්තුව ඩිජිටල්කරණය සදහා මුලින්ම යොමුවුව ද ජාතික ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතිය සකස් කිරීමේ යෝජනාව පැමිණි නිසා එම කටයුතු පමාවූ බව නිලධාරීහු පැවසූහ. කාරක සභාව පෙන්වා දුන්නේ විවිධ හේතු සාධක නිසා ඩිජිටල්කණය තවදුරටත් පමාවීම කණගාටුදායක බවයි. මෙලෙස ඩිජිටල්කරණය පමා කිරීම යම් පිරිසකගේ වුවමනාවට සිදුවන බවට සැකයක් ද ඇතිවන බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40 ක පමණ නිලධාරීහු ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේවන විට නඩු15000ක් පමණ ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය. එසේම 2021 දෙසැම්බර් 31 වන විට නඩු 5000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම පිළිබඳව ද අවධානය යොමු විය. අදාළ ආයතන එම ලිපිනයන්හි නොමැතිවීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශ ගතවීම වැනි හේතු සාධක මේ සදහා බලපා ඇති බව නිලධාරීහු පැවසූහ. මේ අනුව සියලු දිස්ත්‍රික්කවල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳව සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස දැනුම් දුන්නේය.

අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී අයදුම්කරුගේ තොරතුරුවල අඩුපාඩු සහිත වීමෙන් අයදුම්පත්‍ර භාරදීම සදහා අධික කාලයක් ගතවීම පිළිබඳව ද අවධානය යොමුවිය. අයදුම්පත්‍ර භාරදීමට පැමිණීමට පෙර මහජනතාවට ඒබව පරීක්ෂා කර බැලීම සදහා ක්‍රමවේදයක් නොමැති වීම විශාල අඩුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.

2019 වසරේ කම්කරු පනතට සිදු කළ සංශෝධනයට අනුව සියලුම කර්මාන්තශාලා කම්කරු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වුව ද එය තවමත් නිසි ලෙස සිදු නොවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කම්කරුවන් ඇතුළු කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ලියාපදිංචිය සිදුකිරීම සිදුකළ යුතු වුව ද එය නිසි ලෙස සිදු නොවන බව කාරක සභාවේදී සාකච්ඡා විය. පැවති කොවිඩ් තත්ත්වය, ආර්ථික අර්බුදය වැනි හේතු නිසා පමාවූ මෙම කටයුතු කඩිනම් කරන බව නිලධාරීහු පැවසූහ. දැනට පවතින කර්මාන්තශාලා 32000කට ආසන්න ප්‍රමාණයෙන් දැනට ලියාපදිංචි වී ඇත්තේ 4000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බැවින් එම කටයුතු කඩිනම් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දත්ත ලබා ගැනීම සදහා ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා වෙනත් නිලධාරීන් හෝ යොදවා වැඩපිළිවෙලක් සකස් කොට ඒ පිළිබඳව මාසයක් තුළ වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.

එසේම පෞද්ගලික සේවක අර්ථසාධක අරමුදල් පවත්වාගෙන යන ආයතන නිසි පරිදි නියාමනය නොවීම පිළිබඳව ද අවධානය යොමුවිය. 2021 වසර වන විට එවැනි ආයතන 117ක් ඇති බව අනාවරණය විය. එම ආයතනවලට අදාළ සියලු දත්ත වාර්තාවක්ද කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභාව විසින් දන්වන ලදී. එ‍සේම නැවත ප්‍රගතිය පරීක්ෂා කිරීම සදහා ලබන සැප්තැම්බර් මාසයේ නැවත කැඳවීමක් සිදුකරන බවද කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.

අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (දෙපාර්තමේන්තු) සහ ගණකාධිකාරි(ගිණුම්) මෙම රැස්වීමට නොපැමිණීම සම්බන්ධයෙන් ද කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමු විය. ඒ අනුව ඔවුන්ට නැවත 20.06.2024 දින පැමිණෙන ලෙස දන්වන ලද අතර නොපැමිණීමට හේතු ලිඛිතව කාරක සභාවට දැනුම් දෙන ලෙසට ද නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p