SID වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඉහළතම ගරු සම්මානය ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතියකට

June 14, 2024

USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය (SLEP), ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයින් සඳහා වන ප්‍රමුඛතම එක්සත් ජනපද උත්සවය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන සංගමයේ (SID) වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඉහළතම ගරු සම්මාන ලද බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ සතුටිනි. මෙම සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ ස්ලිං මොබිලිටි පෞද්. සමාගමේ හිමිකාරත්වය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන නවමු සංකල්පයක් වන සූර්ය බල බැටරි ආරෝපණය කර හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පිළිගැනීමක් ලබාදෙමිනි. එහිදී කොළඹ පිහිටි කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ ක්‍රියාකාරකම් සඳහා සහය දෙන්නට ආදායම් උත්පාදනය කරමින් එම කේන්ද්‍ර භූමියේ පිහිටා ඇති බැටරි හුවමාරු මධ්‍යස්ථානය විශේෂයෙන් අවධානයට ලක් වුනි.

ජූනි 13වැනි දින කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ පවත්වන ලද උත්සවයක දී එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම නවෝත්පාදන තරඟයේ සම්මානය SLEP සහ ස්ලිං මොබිලිටි නියෝජිතයින් වෙත පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතියෙන් කාන්තා මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති සූර්ය බල බැටරි හුවමාරු ස්ථානය එම මධ්‍යස්ථානයේ ආදායමට දායක වන අතරම තිරසාර නාගරික සචලතාවය සඳහා දායක වන බව සඳහන් කරමින් “විශේෂයෙන් මෙය නවෝත්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා විශිෂ්ට උදාහරණයක් වන බැවින් මෙම ජාත්‍යන්තර ගෞරවය ශ්‍රී ලංකාවට ලැබීමෙන් අපේ සිත් ප්‍රබෝධමත් වනවා,” යනුවෙන් චංග් තානාපතිතුමිය සඳහන් කළාය. “මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය සුරක්ෂිත කරන්නට, ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙනයන්නට සහ සමාජයේ සියළු කොටස් ඉහළට ඔසවා තබන්නට විසඳුම් සම්පාදනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමගින් අපේ ඇති හවුල්කාරීත්වයට එක්සත් ජනපදය කැපවී සිටිනවා.”

“අර්බුද මධ්‍යයේ ලෝකය: බලාපොරොත්තුවේ ගිනිපුපුරු” යන තේමාව යටතේ පවත්වන ලද මෙම වසරේ සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහ අතථ්‍ය ක්‍රමයට සහභාගිවූවන් 1500 ඉක්මවන පිරිසක් තිරසාර සංවර්ධනය සඳහා නවමු ප්‍රවේශයන්ට තම ඡන්දය ලබාදුන්හ. USAID සහයෙන් SLING විසින් ක්‍රියාත්මක කරන “360° තිරසාර සචලතාව” ව්‍යාපෘතිය එහිදී සුහුරු විදුලි වාහන පරිසර පද්ධතියක් තුළ පාරිභෝගික මට්ටමින් කටයුතු සංවිධාන (retail logistics) අංශයට අදාළව පිරිවැය-ඵලදායී සහ කාර්යක්ෂම විසඳුමක් ලෙස කැපී පෙනුනි. බැටරි හා ඊ-බයික් මිලදී ගැනීමට මුලින් ගෙවිය යුතු විශාල මුදල නොගෙවා බැටරි භාවිතය වෙනුවෙන් දායක මුදලක් ගෙවීමේ ක්‍රමවේදයක් මේ මුලපිරීම හරහා හඳුන්වා දෙන අතර, එමගින් මුල් අවස්ථාවේ දැරිය යුතු වියදම සැලකියයුතු තරමකින් අඩු කරදෙයි. ආහාර ගෙනගොස් භාරදීමේ සේවාවක් වන Uber සමගින් අත්වැල් බැඳගෙන ස්ලිං මොබිලිටි ආයතනය, ධාවකයින්ට වැඩ නවතා බලා සිටින්නට වන කාලය අඩු කර දෙමින් කාලය හා මුදල් ඉතුරු කරදෙන මෙම ආකෘතිය කොතරම් ඵලදායී ද යන්න පෙන්නුම් කර දී තිබේ.

“USAID සමගින් SLING Mobility හි සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ නාගරික සචලතාවය සඳහා තිරසාර සහ හරිත අනාගතයක් කරා පියනැගීමේදී යෝධ පියවරක් වනවා, යනුවෙන් SLING ප්‍රධාන විධායක නිලධාරි ලව් යාදව් මහතා සඳහන් කළේය. “මෙම ‘360° තිරසාර සචලතාව’ සූර්ය බල බැටරි හුවමාරු ව්‍යාපෘතිය හුදෙක් තාක්ෂණික නවෝත්පාදනයක් පමණක් නොව සාධනීය වෙනසක් ඇති කිරීමට හවුල්කාරීත්වයන්හි ඇති පරිවර්තනීය බලය පෙන්නුම් කරන්නක් වන අතර විදුලි සචලතාවයෙන් ඔබ්බට බලශක්ති ක්ෂේත්‍රයේ දිගින් දිගටම නවෝත්පාදනය කිරීම සඳහා ඊට හැකියාව තිබෙනවා.”
ඊට අමතරව USAID SLEP සහය ආර්ථික වශයෙන් අඩු වරප්‍රසාදලත් සහ කොන් වූ කණ්ඩායම් වෙත ලබාදෙන අතර, එමගින් විදුලි වාහන භාවිතා ක්ෂේත්‍රයේ පාරිභෝගික මට්ටමින් අවශ්‍ය කටයුතු සංවිධානයට ඔවුන්ගේ සම්බන්ධතාවය ප්‍රවර්ධනය කරනු ලැබේ. මේ මුලපිරීමෙහි පළමු අදියරේ දී රියදුරන් 18 දෙනෙකු පුහුණු කිරීම, 10 දෙනෙකුට රියදුරු බලපත් ලබාගැනීමට උදවු දීම, සහ 100 ඉක්මවන පිරිසක් කරා ළඟා වූ ජනවිහිදුම්කරණ ක්‍රියාකාරකම් සිදුකිරීම ද සිදුවිය.

USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සෞඛ්‍ය සම්පන්න, උගත්, සහ රැකියා නියුක්ත ජනගහනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක්සත් ජනපදයේ ඇති පුළුල් හවුල්කාරිත්වයේ කොටසකි. දියුණු තාක්‍ෂණයන් යෙදවීමට, නම්‍යශීලී බව වැඩි කිරීමට සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ආයෝජන බලමුලු ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය වෙළෙඳපොළ පදනම් වූ, ආරක්ෂිත, විශ්වාසනීය සහ තිරසාර පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට මෙම වැඩසටහන සහාය වේ.

t

o

p