විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද(14) සිට ඇරඹේ

June 14, 2024

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද(14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, අයදුම්කරුවන්ට සති තුනක පමණ කාලයක් මේ සඳහා ලබා දී ඇති බවත් වඩාත් කල්පනාකාරීව තම අයදුම්පත යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී යම්කිසි වරදක් සිදු වුවහොත් ඇතැම්විට තමන් බලාපොරොත්තු වන විශ්ව විද්‍යාලය හෝ බලාපොරොත්තු වන පාඨමාලා පවා නොලැබී යෑමට හැකියාවක් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව තමන් පිරවූ අයදුම්පතේ විශ්ව විද්‍යාල අනුපිළිවෙල සහ තමන්ගේ උපාධි පාඨමාලාවන්ගේ අනුපිළිවෙළෙහි යම්කිසි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් සති දෙකක කාල සීමාව තුළ දරුවන්ට එක් අවස්ථාවක ලබා දී ඇතැයි ඒ මහතා පැවසීය. ඒ අනුව තමන්ගේ අයදුම් පතට නැවත යොමු වී වෙනස්කම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඒ සඳහා සති දෙකක අමතර කාලයක් ලබා දී ඇතැයිද පැවසීය.

t

o

p