කාන්තාවන් සවිබලගන්වන පනත් කෙටුම්පත් ජුනි මස මැතිසබයට

May 14, 2024

කාන්තාවන් සවිබලගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, DP Education කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පසුගියදා සංවිධානය කර තිබූ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පොදු ස්ථානවලදී සිදු වන ලිංගික හිංසනයන්ට එරෙහිව Òහිංසන විරෝධී ගෝලීය අභිනයන්Ó හස්ත මුද්‍රා එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමිනි.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යන්ත්‍රණයක්, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට ද හැකියාව ඇති කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළයුතුයැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය පැවැති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීමට මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දන්නා බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබලගැන්වීමට රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජුනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බව ද පෙන්වා දුන්නේය.

“ධම්මික පෙරේරා මහතා වෙනසක් ආරම්භ කර තිබෙනවා.කාන්තා හිංසනයට එරෙහිව එතුමා මේ ආරම්භ කළ වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි. DP Education වැනි ව්‍යාපාර අනාගත අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. ඉතිහාසයේ අප අධ්‍යාපනය ලැබුවේ ගස් යට, ගල් ලෑලි භාවිත කරමින්. ඉන්පසුව ගොඩනැඟිලි, පොත් අධ්‍යාපනයට එකතු වුණා. වර්තමානයේ වගේ එදා ජංගම දුරකතන තිබුණේ නැහැ.

ඒ වගේම විටින්විට අධ්‍යාපනය වෙනස් වුණා. පිරි‍වෙන් අධ්‍යාපනයේ සිට පාසල් අධ්‍යාපනය ද වෙනස් වෙනවා. අද සුහුරු පන්ති කාමර පාසලට පැමිණිලා. ධම්මික පෙරේරා මහතා DP Education හරහා නව අධ්‍යාපන මානයක් හඳුන්වා දී තිබෙනවා. මේ පදනමේ වියදමින් පාසල් 600කට පහසුකම් සපයා දී තිබෙන බව මට දැනගන්න ලැබුණා. මේ නිසා ටියුෂන් පන්ති කාමරයත් වෙනස් වෙනවා. මෙයට කෘත්‍රිම බුද්ධිය එකතු වූ විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකියි. දරුවන් මේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කර සෑම දරුවකුටම අධ්‍යාපනය දිය යුතුයි. සෑම දරුවකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපට හැකියාවක් නැහැ. නමුත් තාක්ෂණය හරහා සෑම දරුවකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි.

කාන්තා හිංසනයට එරෙහිව සංඥා භාවිත කරන්නේ කෙසේද යන්න අද මෙතැනදී හඳුන්වා දුන්නා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය පාර්ලිමේන්තුවේ අප හඳුන්වා දෙනවා. කාන්තා හිංසනය නවත්වන්නේ කෙසේද යන්න මේ හස්ත සංඥා මඟින් දැනුම්වත් කළ හැකියි. කාන්තා අයිතිවාසිකම් සුරකින්න අපකැප වී සිටිනවා. එය වචනයට සීමා කරන්න බැහැ. මේ දෙන සංඥා මඟින් කාන්තාවන්ට සිදු වන හිංසනය පිළිබඳ සමාජය දැනුම්වත් කර ඊට එරෙහිවීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සද්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා මහතා කරන්නේ එවැනි ක්‍රියාවක්. කාන්තා හිංසනයට එරෙහිව කාන්තාවන් සවිබලගැන්වීමට මෙම වැඩපිළිවෙළ මඟින් හැකියි. ආර්ථික අර්බුදය පැවැති සමයේ කාන්තාවන් විශාල ලෙස දුක් වින්දා. මා බලයට පත්වන කාලවකවානුවේදී කාන්තාවන් ආහාර නැතිව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. ඇතැම් පවුල් ඉදිරියට ගෙන ගියේ කාන්තාවන්. ඒ නිසා කාන්තාවන් සවිබලගැන්වීමට අප කටයුතු කරනවා. ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට මේ පනත් කෙටුම්පත හරහා කළ හැකියි. එමෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට කොමිසමක් ද ස්ථාපිත කරනවා. ඕනෑම ප්‍රදේශයක, ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් සිදුවනවා නම් කොමිසම මඟින් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන් සාර්ථකම කණ්ඩායම වෙමින් තිබෙනවා. කාන්තාවන්ට තිබෙන බාධා ඉවත් කිරීම අපේ වගකීමක්. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ට ද මෙහි විශාල වගකීමක් පවරනවා. කාන්තාවන් සහ ගැහැනු දරුවන් මුහුණදෙන ගැටලු විසඳා සමාජ සාධාරණයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. මේ පනත් කෙටුම්පත් දෙකම ජුනි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කිරීමට අගමැතිවරයා සමඟ මා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. අවම වශයෙන් කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද පැවැසිය යුතුයි. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීමට ද කටයුතු කරනවා. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි. ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කර කාන්තාවට හිමි ස්ථානය ලබා දීමට අප කටයුතු කරනවා.”

DP Education නිර්මාතෘ හා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා මහතා-

“ධම්මික හා ප්‍රසිලා පදනම ගොඩනැඟුවේ 2016 වසරේදී. අධ්‍යාපනයෙන් පොහොසත් රටක් නිර්මාණය කරන්නේ කෙසේදැයි කල්පනා කර මෙම පදනම නිර්මාණය කළා. අද වන විට විනයගරුක පාසල් දරුවන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අපට හැකි වී තිබෙනවා. ලක්ෂ පහළොවක් පමණ පාසල් දරුවන්ට පහසුකම් සැලසීමට අපට හැකි වුණා. පෙර පාසල් දරුවන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේ පදනම කටයුතු කළා. ළමා මනෝ වෛද්‍යවරුන් පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට ගැළපෙන වැඩපිළිවෙළක් දරුවන්ට ලබා දීමට අප කටයුතු කළා. පෙර පාසල් 1000ක් ඇති කර දරුවන්ගේ පූර්ණ ළමා විය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අපේ සංස්කෘතිය වැනි පොහොසත් සංස්කෘතියක් දකුණු ආසියාවේම තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයත් ඉතා ඉහළ මට්ටමක තිබුණා. මේ කාරණා දෙක සැලකිල්ලට ගෙන අපේ පදනම විසින් තොරතුරු තාක්ෂණය සහ භාෂා ඥානය දෙමින් ධර්මයෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහිකිරීමට කටයුතු කරන බව කිව යුතුයි.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමැතිනි පවිත්‍රා වන්‍නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, ලසන්ත අලගියවන්න, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සංජීව එදිරිමාන්න, ඒ.එච්.එම්. ෆවුසි, අංගජන් රාමනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු ඇමැති රවී කරුණානායක, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත කුන්ලේ ඇඩේනියි (Kunle Adeniyi) මෙන්ම තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p