බලපත්‍ර නීති නොතකා හිංසාකාරීව හරක් ප්‍රවාහනය කරලා -සැකකරුවෝ 4ක් අත්අඩංගුවට

May 2, 2024

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් එළ ගවයන් 34ක් ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක් තම භාරයට ගෙන සැකකරුවන් හතරක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, වැලිසර සහ සෙට්ටිකුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26ත් 45ත් අතර පසුවන සැකකරුවන් සිව් දෙනෙකි. සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට මහනුවර දක්වා එළ ගවයන් 16ක් හිංසාකාරී අයුරින් රැගෙන යමින් තිබූ ලොරි රථයක් මිහින්තලේ නගරය ආසන්නයේදී නතර කර, සිදු කළ පරීක්ෂාවකදී හිංසාකාරී ලෙස එම ගවයන් ප්‍රවාහනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවත්, එහිදී සිදු කළ වැඩිදුර විමර්ශනවලදී එම ලොරි රථයේ රියැදුරාට වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබූ බවත් පොලිසිය කියයි.

මේ අතර, අනුරාධපුර පුත්තලම ඒ – දොළහ මාර්ගයේ කොරකහවැව ප්‍රදේශයේ සිදු කළ රථවාහන පරීක්ෂාවකදී, පදවිය ප්‍රදේශයේ සිට වැලිසර ප්‍රදේශයට හිංසාකාරී අයුරින් එල ගවයන් 18ක් රැගෙන ගමන් කළ ලොරි රථයක් සමග එහි රියැදුරු ද අත්අඩංගුවට ගත් බව ද කොට්ඨාස රථ වාහන පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා (30) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නියාස් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන, මංජුල (36515), විජේරත්න (6100), ප්‍රේමරත්න (38882), පො.කො. චතුරංග (75100) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

t

o

p