අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙයි

April 18, 2024

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 23ක් ද ඇතුළත් වේ.

අනතුරුව ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියහ.

එම හඹා යෑම වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම හඹා යෑම ලෙසය.

එම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමට සමත්වුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වුණි.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ මෙම අතිවිශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා කාන්තා පිලට සුබ පැතුම් එක් කළේය.

ජනාධිපතිවරයා මේ වන විට රැදී සිටින නුවරඑළිය ජනාධිපති මන්දිරයේ සිට දුරකථන ඇමතුමකින් මෙලෙස සුබ පැතුම් එක් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු ඊයේ දැක්වූ අතිවිශ්ෂ්ඨ පිතිහරඹය ද ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කර තිබේ.

t

o

p