ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට පසුගිය පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට පසුගිය පෙබරවාරි දක්වා බහු පාර්ශ්වීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නොමැති බවයි.
ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබේ.
තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා ඇති බව සඳහන්.
එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර තිබේ.
මෙම කාලය තුළ ද්වි පාර්ශ්වීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇති අතර මේ වන විට අදාළ රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.