දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කර ගැනීමේදී කෝටි ලක්ෂයක් අතහැරලා!

April 2, 2024

පසුගිය වසර කිහිපයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක් බදු අය කරගෙන නැති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේදී හෙළි වී තිබේ.

අවසාන වසර පහ තුළ එම බදු ප්‍රමාණය රුපියල් බිලියන 656ක් යැයි ද මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්න ද එම දෙපාර්තමේන්තුව මේ දක්වා ඊට ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද එම කාරක සභාව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

රුපියල් කෝටි 100කට වැඩි බදු නොගෙවූ පිරිස අනූ දෙනකු වන බව ද කෝටියකට වැඩි බදු පොලු තැබූ ප්‍රමාණය 4479 දෙනකු යැයි ද ක්‍රම සහ විධි කාරක සභාව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා රේගුව තුළ රුපියල් බිලියන 58.6ක බදු පැහැර හැරීම් සිදු වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණය රාජ්‍ය අංශයේ බව ද හෙළි වී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව කෝටි 700ක් බදු අය කරගෙන නැති බව ද එම බදුවලින් 70%ක්ම ගෙවා නැත්තේ සමාගම් දෙකක් යැයි ද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළි වී තිබේ.

රේගුව නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවුණු නිසා ඩොලර් බිලියන 4ක් රටට අහිමි වුණ බව ද මෙම ඩොලර් ප්‍රමාණය රටට ගලා ආවා නම් රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති නොවන බවද පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේදී හෙළි වී තිබේ.

රටට භාණ්ඩ ආනයනය කිරීමේදී විශාල ගැටලු ඇති වී ඇති අතර 2023 වසරේදී බී ළූණු කිලෝ එකක් රුපියල් 92කට ආනයනය කර ඇති අතර එය සිල්ලර කඩයේදී රුපියල් හත්සීයකට අලෙවි වී ඇති බව ද හෙළි වී තිබේ.

පසුගිය වසරේදී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් අයථා ආනයන මගින් රුපියල් කෝටි 8,000ක අයථා ලාභයක් උපයා ඇතැයි ද එම නිසා මෙම කරුණු පිළිබඳ විමසීමට අද (2) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාර්ලිමේන්තුවට කැඳවන බවද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

t

o

p