දකුණු ආසියාවේ විශාලතම රෝහල ජනපති අතින් විවෘත කෙරේ

March 27, 2024

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස හැඳින්වෙන ගාල්ල – කරාපිටියේ ඉදිකළ ‘ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) විවෘත කෙරුණා.

එය මහල් 06කින් සමන්විත වන අතර එහි ඇඳන් 640ක්, ශල්‍යාගාර 06ක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක සහ විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් මෙම රෝහල සමන්විත වනවා.

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා මෙරටට බලපෑ සුනාමි තත්ත්වයෙන් හානියට පත් ‘මහමෝදර මාතෘ රෝහල’, කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ‘ආචාර්ය හෙල්මුට් කෝල්’ තීරණය කළා.

ඒ අනුව ‘හෙල්මුට්කෝල් පදනම’ විසින් පිරිනැමුණු ප්‍රදානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මෙම රෝහල ඉදිකිරීමට මුල් ගල තැබුවා.

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්‍යාපෘතිය අතරමග නතර වු අතර 2012 වර්ෂයේදී යළි මෙහි ඉදිකිරීම් ආරම්භ කළා.

ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28ක සහන මුදල් මේ සඳහා වෙන් කෙරුණු අතර 2018 වර්ෂයේදී KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13ක් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

නමුත් පසුව එම යුරෝ මිලියන 13ක ප්‍රදානයක් බවට පරිවර්තනය වුණා.

වසර 19ක් පුරා ඉදිකෙරෙනු මෙම මාතෘ රෝහල අද (27) සිට ජනතා අයිතියට පැවරෙනු ඇති.

t

o

p