සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි – ජනාධිපති

February 28, 2024

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ වන බවයි ජනාධිපතිවරයා පවසයි.

දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් පුරා සිදුවූ මෙම කටුක අත්දැකීම රට බිහිසුණු යුද්ධයකට ඇද දැමූ බව සිහිපත් කර තිබේ.

ඒ අනුව රට තුළ සංහිඳියාව සහ ආගමික සහජීවනය ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් රජය මේ වන විට සාධනීය පියවර රැසක් ගෙන ඇති බවයි පෙන්වා දෙන ලදි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින්.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලද “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය” ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම අන්තර් ආගමික සමුළුව සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි දිස්ත්‍රික් නියෝජිතයන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටද කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

t

o

p