උණුසුම් කාලගුණය අප්‍රේල් දක්වා

February 29, 2024

පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, උෂ්ණ කාලගුණයක් පවතින දහවල් කාලයේ හැකිතාක් එළිමහනේ කටයුතු කිරීම අවම කරන ලෙසයි.

පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටි.

මෙහිදී, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

මේ අතර අද (29) සහ හෙට (01) උෂ්ණත්වය අධික අවස්ථාවන්හි එළිමහනේ ළමුන් රැඳවීමෙන් වළකින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු, ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට ළමුන් යෙදවීමෙන් වළකින ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව සඳහන් වේ.

t

o

p