වන අලි ගමට ගොවීන්ට කැලේට 

February 12, 2024

විල්පත්තුව ජාතික වනෝද්‍යානය, තබ්බෝව අභය භූමිය සහ වීරක්කොඩිචෝල රක්ෂිත වනාන්තරවල සැරිසරන වන අලි රංචු මේ දිනවල ගම්වැදීම හේතුවෙන් පොල් අක්කර 500ට ආසන්න ප්‍රමාණයක පොල්ගස් දහසක් පමණ මුළුමනින් ම විනාශයට ලක්කර ඇතැයි ගොවි ජනතාව මැසිවිලි නඟති.

වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් එළුවන්කුලම, රාල්මඩුව, ගඟේවාඩිය, මොරපතාව, විජයපුර, කරඩිපුවල්, සමඟිපුර, මයිලන්කුලම, ප්‍රදීපාගම, තේවනුවර, පාවට්ටාමඩුව, තබ්බෝව, මහකෝන්වැව, මොරියාකුලම ආදී ගොවිජන පද වෙත රාත්‍රි කාලයේ රංචු වශයෙන් පැමිණෙන වල් අලි පොල් අක්කර 500ට ආසන්න ප්‍රමාණයක පොල් ගස් 1000ක් පමණ මුළුමනින්ම විනාශයට ලක්කර ඇති බව වගාකරුවෝ පවසති.

සවස හතර පමණ වන විට රංචු වශයෙන් ගම්වදින වල් අලි සෑම ගෙවත්තක් පාසාම ගමන් කරමින් එහි ඇති අඹ, කෙසෙල්, පොල්, ආදි භව භෝග සේම කුඹුරු ද මුළුමනින්ම විනාශයට ලක්කරන බවට ජනතාව මැසිවිලි නඟති.

මෙලෙස වන අලි ගම් වැදීමට බලපා ඇති සාධකය ලෙස ජනතාව පෙන්වා දෙන්නේ රජය විසින් ඉදිකර ඇති විදුලි අලි වැට අක්‍රිය තත්ත්වයේ පැවතීමත්, එකී විදුලි වැට නඩත්තු කිරීම සඳහා රජය විසින් පත්කර ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා බහුකාර්ය ඒකකයට අනුයුක්ත නිලධාරීන් කිහිපදෙනකු ප්‍රමාණවත් නොමැති බවයි.

වනාතවිල්ලුව සමූහ කේ. ප්‍රියංකර කළුපහන

t

o

p