මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක්

January 18, 2024

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේදී නව ආයෝජන කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ස්විස්ටර්ලන්තයේදී පැවති ලෝක ආර්ථික සමුළුවේ පාර්ශ්වකරුවන්ගේ සංවාදයේ විද්වත් සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා නව ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව පසුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සහ ණය ගෙවීමේ ප්‍රවේශය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්නයක් මතු කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර ඉදිරි වසරේදී එය 5% දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්‍ සමග වන වැඩසටහනට අනුව රාජ්‍ය ආදායම් වැඩි දියුණු කරගැනීම, ආදායම් එකතු කිරීමේ ක්‍රමෝපායන් ප්‍රතිසංස්කරණය මෙන්ම ඒ වෙනුවෙන් ආදායම් අධිකාරියක් ඇතුළු ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ අතර ඉන්දීය කර්මාන්ත සමූහය සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේදී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට ද ජනාධිපතිවරයා සහභාගී වී ඇති.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි.

සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්ත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබේ.

ඉන්දියාව සමග භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළෙඳාම, රේගු සහයෝගිතාව මෙන්ම වෙළෙඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික වළෙඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

t

o

p