සංචාරකයින් සඳහා “කොලොම්පුර චාරිකා” නමින් විශේෂ බස් රථ සේවාවක්

January 17, 2024

කොලොම්පුර චාරිකා” නමින් සංචාරකයින් සඳහා විශේෂ බස් රථ සේවාවක්, හඳුන්වා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැළසුම් කර තිබෙන අතර, එම බස්රථ කිහිපයක් අද(17)ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් වසර 66ක ඉතිහාසය තුල ප්‍රථම වරට විදේශ සංචාරකයින් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයින් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි මෙම විශේෂ සූපෝකබෝගි බස්රථ සේවාවක් සැලසුම් කර ඇත. මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරු මහතෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදා ගැනේ.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වේ.

ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් යොදාගන්නා ලෙසද පැවසීය.

මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

t

o

p