2024 විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

December 14, 2023

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.

එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව 2023 අංක 32 දරන  එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත,   2023 අංක 33  දරන මුදල් පනත සහ 2023 අංක  34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත්  බලාත්මක වේ.

අය වැය ඡන්ද 41කින් සම්මතයි

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තෙවනවර කියවීම වැඩි ඡන්ද 41 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊයේ ප.ව 6.40 ට පමණ තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී  අයවැයට පක්ෂව ඡන්ද 122 ක්  හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 81ක් පමණි. එසේම එක්  මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.  

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය.

පසුව 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 සිට ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමෙන් අනතුරුව තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මෙසේ ඊයේ (13)පැවැත්වුණි.  

t

o

p