අපරාධ මැඩලීම සඳහා පොලීසියට අලුතින් 5,000ක්

December 13, 2023

අපරාධ මැඩලීම සඳහා එළඹෙන වසරේදී පොලීසියට අලුතින් 5,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු ඒ බව පැවසීය.

අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සේවයේ යොදවා නොමැති බවත් අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන බව ඔහු පවසයි.

එම සියලුම භටයින් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

පසුගිය මාස 11 කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුනි.

“එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 175 දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260ක පමණ වියදමක් දරනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ. මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්ධනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 2,300ක පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගනු ලබනවා. කෙසේ නමුත් පොලීසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලබනවා. ලෝකයේ ඕනෑම රටක ගිනි නිවීම් සහ ගලවා ගැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගිනි නිවන හමුදාව වැනි අංශ මගින්. අපේ රටේ විශේෂ කාර්ය බළකාය පිහිටවනු ලැබුවේ එවැනි කටයුතු සඳහා නොවෙයි.”

“2011 වසරේදී ගිනි නිවීම් හමුදාව මගින් මෙම කටයුතු සිදු කිරීම සඳහා මිල ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. එම මිල ගණන් අධික බැවින් කෙටි කාලයකට පමණක් විශේෂ කාර්ය බළකාය එම සේවයට යොදවා ගත්තත් මේ වනතුරුත් එය සිදු කෙරෙමින් පවතිනවා. මේ වනවිටත් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ අදාළ රාජකාරි සිදු කරනු ලබන්නේ ගිනි නිවීම් හමුදාව මගින්. ඒ ආකාරයටම අනෙකුත් අධිවේගී මාර්ගවලත් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගනු ලැබ තිබෙනවා.අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර, යම්කිසි කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත දිනයක් තීරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා”.

අධිවේගී මාර්ගයේ සිදුවිය හැකි අපරාධමය ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා අධිවේගී මාර්ග කොට්ඨාශය මගින් පෙර පරිදිම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැවසුවේ…” ශ්‍රී ලංකා පොලීසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21,422ක්, විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු 2,345ක් ඇති අතර නිලධාරි හිඟයක් පවතින්නේ ශ්‍රී ලංකා පොලීසියට නිසි පරිදි නිලධාරීන් ස්ථානගතවීම නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. ශ්‍රී ලංකා පොලීසියේ සියලූම තනතුරු වලට අදාළව බඳවාගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර විධායක සේවා ගණයේ තනතුරු සඳහා එම පටිපාටිය අනුව උසස්වීම් ලබාදීම සිදුකරනු ලබයි. නියාමන සේවා ගණයේ අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියට අදාළව මෙතෙක් පැවැති නඩු කටයුතු හේතුවෙන් උසස් කිරීම් ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණ නොපැවැත්විණි. මේ වන විට එම නඩු කටයුතු අවසන් වී ඇති අතර අදාළ බඳවා ගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිවල කළ යුතු සංශෝධන සිදුකෙරෙමින් පවතී. ඒ අනුව එම සංශෝධන සිදු කිරීමෙන් පසු අදාළ උසස්වීම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත” යනුවෙනි.

t

o

p