මේ රටේ කිසිම දේශපාලන පක්ෂ නායකයෙක් මේ බංකො‍ලොත් රට භාර ගන්න ඉදිරිපත් වුණේ නෑ

December 14, 2023

දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ නායකයෝ කිසි කෙනකුට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නෑ

මං ඒ අභියෝගය භාර ගත්තා -ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

මෙරට ණයවර ලිපි යළි ජාත්‍යන්තරය පිළිගන්නවා

අප මෙතෙක් පැමිණි ගමන් මඟ ගිලිහෙන්න දෙන්න එපා

IMF දෙවන වාරිකය අනුමත වීමෙන් තැන්පතු රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

අපට පුතේ මඟක් නැතේ මේ මඟ මිස යමන් පුතේ: අදත් අපට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි

බදු ලිපි ගොනුවක් ඇති පුරවැසියන්ට ගරු කරන ක්‍රමයක්

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මඟක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවොත් මුළු රටම නැවත කඩා වැටෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන රටම පරිස්සම් විය යුතු බවත්, එවැනි සුරංගනා කතාවල කියන දේ ඉටු කිරීමට යෑමෙන් සිදු වන්නේ රට නැවත බංකොලොත් භාවයට පත්වීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (13) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළේදී ඉටුකරගත යුතු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන මූලික සාධක දෙක නිසි පරිදි හසුරුවා ගැනීම හේතුවෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට යෑමෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කළ හැකි බවද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය අනුමතවීමත් සමඟ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත ශක්තියක් ඇති කරන තැන්පතු රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා, එමඟින් මෙරට බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය 100%කින් සුරක්ෂිත වන බවද පැවසීය.

වැට් බද්ධ ඇතුළු විවිධ බදු පැනවූයේ කැමැත්තකින් නොවන නමුත් එම දුෂ්කර තීරණ රටේ අනාගතය වෙනුවෙන් ගැනීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ ක්‍රියාමාර්ග හමුවේ ආර්ථිකය ශක්තිමත් වන විට ජනතාවට වැඩි වැඩියෙන් සහන සැලසෙන පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට හැකි බව ද පෙන්වා දුන්නේය.

එබැවින් අප මෙතෙක් පැමිණි ගමන් මඟ ගිලිහෙන්නට නොදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඇතැමුන් කතාවට සහ විවේචනයට පමණක් සීමා වුවත් තමා රටේත් ලෝකයේත් සහය ගනිමින් රට ජයග්‍රාහී මාවතට ගෙන ආ බවද සිහිපත් කළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

අද මම මේ ගරු සභාව අමතන්නේ ලොකු සතුටකින්. රට යළි ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. දැන් අපි බංකොලොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර ගෙන තිබෙන බව ඔවුන් පිළිගත්තා. ඒ ගමනේ සංධිස්ථානයකට අප පැමිණ ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. මේ අභියෝගාත්මක ජයග්‍රාහී ගමනට නායකත්වය දීමට ලැබීම ගැන මට ඇත්තේ නිහතමානී සතුටක්.

මම ගිය අවුරුද්දේ භාර ගත්තේ බංකොලොත් රටක්. මේ රටේ කිසිම දේශපාලන පක්‍ෂ නායකයෙක් මේ බංකොලොත් රට භාර ගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාර ගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ, නායකයෝ කිසි කෙනෙකුට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නෑ.

ඒත් මම ඒ අභියෝගය භාර ගත්තා. එදා මම කිවුවා ලංකා මාතාව අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ කරන්න මම කැපවෙනවා කියලා. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි. මගේ පක්‍ෂය නියෝජනය කරන එක මන්ත්‍රීවරයෙක්වත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ.

මේ වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාස කළා. අපහාස කළා. ඒත් මේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් මට සහය දුන්නා. ඒ අයටත් විවිධ අපහාස උපහාස කළා.

ඒ වගේම රටේ ජනතාව මට සහය දුන්නා. ඔවුන් රට වෙනුවෙන්, ලංකා මාතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ අපහසුතාවන්ට මුහුණ දෙමින් මේ ගමනට සහය දුන්නා. ව්‍යාපාරිකයන් ගැටලුවලට මුහුණ දුන්නා. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් කරදරවලට මුහුණ දුන්නා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු ආදී විවිධ ක්ෂේත්‍රවල අයට ජීවන ප්‍රශ්න ඇති වුණා. මා ගත් සමහර දුෂ්කර තීරණ රටේ ජනතාව අපහසුවෙන් වුණත් විඳ දරා ගත්තා.

ඒ සියලු දුක් විඳින්න වුණේ රට බංකොලොත් බවින් මුදා ගැනීමටයි. අපි සියලු දෙනා විඳි දුක් කරදර සහ කැපවීම් නිසා රට බංකොලොත් බවින් මුදා ගන්න දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා.

රට වෙනුවෙන් ඒ දුෂ්කරතා විඳි ජනතාව, ඒ වගේම පාර්ලිමේන්තුවේ මට සහාය දුන් සියලු දෙනා රට බංකොලොත් බවින් මුදා ගැනීමේ සටනේ සාඩම්බර කොටස්කරුවන් වෙනවා. ඒ සියලු දෙනාගේම කාර්යභාරය අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බවට මට සැකයක් නැහැ.

මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු තවත් කරුණක් තියෙනවා. ලෝකයේ බංකොලොත් රටවල් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කාලෙකින් අපට යථා තත්ත්වයට පත්වෙන්න හැකි වුණා. ඒ වගේම ජනතාවට අවම බරක් පටවමින් අපට මේ අභියෝගය ජය ගැනීමට හැකි වුණා. එය විශාල ජයග්‍රහණයක්.

ග්‍රීසියේ ආර්ථික අර්බුදය ඇති වුණේ 2008 දී. ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න අවුරුදු 10කට වඩා කාලයක් ගත වුණා. ඔවුන් අර්බුදය ජය ගැනීම සඳහා පෞද්ගලික ආදායම් බදු සියයට 45ක් දක්වා ඉහළ නැංවූවා. අය වැය ඉලක්ක සපුරා ගැනීමට සියලු සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් බරපතළ ලෙස කප්පාදු කළා. මේ වගේ සීමා, තහංචි ගණනාවක් දැම්මා. රටේ ජනතාවට නොසෑහෙන්න දුක් පීඩා විඳින්න සිදු වුණා. මෙවැනි උදාහරණ ලෝකයේ බොහෝ රටවලින් සොයා ගන්න පුළුවන්.

ගරු කථානායතුමෙනි!

මම රට භාර ගත් මුල් අවධියේ අපේ රටේ උද්ධමනය සියයට 70 ඉක්මවූවා. පසුගිය ඔක්තෝබරය වෙද්දී එය සියයට 1.5 දක්වා පහත හෙළාගන්න අපට පුළුවන් වුණා. අපේ භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 30කට වැඩි මට්ටමක සිට සියයට 13 දක්වා අඩු වුණා.

රුපියල පහත වැටීම අප වළක්වාගෙන කිසියම් ස්ථාවර මට්ටමකට එය ගෙන ආවා. මම රට භාර ගනිද්දී රුපියලේ පහත වැටීම සියයට 80 දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයකට රුපියල් 360ක් දක්වා රුපියලේ අගය අඩු වුණා. දැන් එය ඩොලරයකට රුපියල් 325 – 330ක මට්ටමේ ස්ථාවර වී තියෙනවා. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින ලෙබනනයට තවමත් විදේශ විනිමය අනුපාතිකය ස්ථාවර කරගන්න බැරි වී තියෙනවා.

මම කලිනුත් කිවුවා වගේම රටේ බහුතර ජනතාවගේ කැපවීම්, වෙහෙසීම් නිසා මට අපේ ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කරන්න පුළුවන් වුණා.

වැල් පාලම කියද්දි අපේ රටේ වැඩි දෙනෙකුගෙ සිහියට එන්නෙ හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව. ඒ නාට්‍යයේ වැල්පාලමේ ගීතය.

වැල් පාලමේ ගීතය ගයමින් ගෲෂා මෙන්න මෙහෙම කියනවා.

‘අපට පුතේ මඟක් නැතේ – මේ මඟ මිස යමන් පුතේ’

අදත් අපට කියන්න තියෙන්නේ අන්න ඒ ටිකමයි. මේ මඟ මිස වෙන මඟක් අපට නෑ.

මම එදා සිට අද දක්වා හැමදාමත් කියන්නේ ඔය කතාව. මේ මාර්ගය මිස වෙන මාර්ගයක් අපට නෑ. මේ මාර්ගයේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය. අපි ඒ සාධක දෙකම නිසි පරිදි හසුරුවා ගත්තා. ඒ නිසා අපට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. මේ මාර්ගයේම තවත් ඉදිරියට ගියොත් අපට සංවර්ධිත රටක් බවට පත්වෙන්න පුළුවන්.

ඒක දිගු ගමනක්. දවසෙන් දෙකෙන් අවසන් කරන්න පුළුවන් ගමනක් නොවෙයි. 2048 දක්වා යා යුතු ගමනක්. හැබැයි මේ මඟ මිස වෙන මඟක් අපට නෑ. වෙන මඟක ගියොත් අපට අනාගතයක් නෑ. මා කලින් සඳහන් කළ ප්‍රධාන සාධක දෙක බිඳ දැම්මොත් මුළු රටම නැවතත් කඩා වැටෙනවා. ආයෙමත් අප බංකොලොත් රාජ්‍යයක් ලෙස පිළිගැනෙනවා.

මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. අපේ රටේ ආණ්ඩු පටු දේශපාලන වාසි ලබාගෙන වසර 11 ක් තිස්සේ ජල ගාස්තු වැඩි කළේ නෑ. විදුලිය ගාස්තු වසර ගණනාවක් තිස්සේ වැඩි කළේ නෑ. ජල සම්පාදන මණ්ඩලය සහ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගත්තේ විදේශ ණය ලබා ගැනීමෙන්. මේ වැරැද්ද තවදුරටත් කරන්න අපට බෑ. ණය ගත යුත්තේ එදිනෙදා වැඩ කටයුතුවලට වියදම් කිරීමට නොව ආයෝජනයටයි. එහෙම නොකර ණය අරන් පරිභෝජනය සඳහා වියදම් කළොත් පරිහානියට පත් වන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ඒ නිසා අපි ඒ පරණ වැරදිවලින් මිදී මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි. සමජීවිකතා සංකල්පය ක්‍රියාත්මක කළ යුතුයි.

මේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා පසුගිය නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

Ò2024 අය වැය ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති නරකම ආර්ථික අර්බුදයක් හිමි කාලයක සිටයි. ආනයන පාලන, ව්‍යවහාර මුදල අවප්‍රමාණ කිරීම, පිරිවැය පිළිබිඹු කරන උපයෝගීතා මිල නියම කිරීම,නව බදු ක්‍රියා මාර්ග සහ බදු අනුපාතික සහ තැන්පතු අනුපාතික ඉහළ දමමින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම ඇතුළුව හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යම් ප්‍රමාණයක සාර්ව ආර්ථික ස්ථායිකරණයක් ගෙන ආවේය.”

හර්ෂ මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි දැන් අපට යම් ප්‍රමාණයක ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඇත්තම කීවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ යටතේ අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මීට වසර 10කට 20කට කලින් අප කළ යුතු වූ දේවල්. නමුත් යම් යම් දේශපාලන කණ්ඩායම් මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගෙන මේවා නොසලකා හැරියා.

2003 වසරේ මා අගමැති ලෙස කටයුතු කරන කාලයේ සම්මත කරගත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත බොහෝදෙනෙක් නොසලකා හැරියා. ඒ පනත සියයට සියයක්ම ක්‍රියාත්මක නොවුණේ ආර්ථික අරමුණු යටපත් කරගෙන දේශපාලන අරමුණු ඉස්මතු කරගත් නිසයි. අප මේ භුක්ති විඳින්නේ ඒ වැරදිවලට දඬුවමයි.

ඒ නිසා බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන මුළු රටම පරිස්සම් විය යුතුයි.එවැනි සුරංගනා කතාවල කියන කරන දේ ඉටුකිරීමෙන් වෙන්නේ ආයෙමත් අප අගාධයට, බංකොලොත් තත්ත්වයට ඇද වැටීම පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අනුමත වීමත් සමඟ අපේ රටට වාසි ගණනාවක් ඇති වෙනවා. අපේ මූල්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත ශක්තියක් ඇති කරන තැන්පතු රක්‍ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් අපට ලැබෙනවා. එමඟින් බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය සියයට සියයක්ම සුරක්‍ෂිත වෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බංකුව, ජයිකා වැනි මූල්‍ය ආයතනවලින් තවත් විශාල මුදලක් සංවර්ධන ක්‍රියාවලිය සඳහා අපට ලැබෙනවා. ඒ ඉතා අඩු පොලියට වගේම සහනදායී කොන්දේසි මත.

දැන් විදේශ ආයෝජකයන්ට බියක් සැකක් නැතිව ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන්. අපේ ණයවර ලිපි දැන් නැවතත් ජාත්‍යන්තරය පිළිගන්නවා. නැවතත් අපේ වෙළෙඳ පොළ වඩාත් පහසුවෙන් පුළුල් කරගන්නටත්, ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටත් අවකාශය දැන් උදා වී තිබෙනවා. මේ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට අප වෙහෙසිය යුතුයි.

මෙතැනදී තවත් කරුණක් ඔබ සැමට සිහිපත් කරන්න කැමතියි. මේ ජයග්‍රහණය අප ලබා ගත්තා කියන්නේ සියල්ල සර්ව සම්පූර්ණ වුණා කියන එක නොවෙයි. පූර්ණ ආර්ථික නිදහස ලබන්න අප තවත් බොහෝ දුර යා යුතුයි.

ඒ නිසා මම මේ ගරු සභාවේ සිටින සියලුම දෙනාගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ අප මේ තාක් පැමිණි නිවැරැදි මාවත ගිලිහෙන්න ඉඩ නොදෙන ලෙසයි. සමහරු කතා කරනවා විතරයි. විවේචනය කරනවා විතරයි. නමුත් මම ප්‍රතිඵල පෙන්නුවා. ලෝකයේත්, ලංකාවේත් බහුතර සහයෝගය ලබාගෙන රට ජයග්‍රාහී මාවතකට ගෙන ආවා.

ගරු කථානායකතුමෙනි, හර්ෂ ද සිල්වා වාර්තාවේ සඳහන් වැදගත් කරුණක් උපුටා දක්වන්න මම කැමතියි.

Ò2023 සැප්තැම්බර් මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම පළමු වරට සමාලෝචනය කිරීම අවසානයේදී, ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කළා. යම් සතුටුදායක තත්ත්වයක් ඇතිවී තිබෙන නමුත් තව දිගු ගමනක් ඇත.”

ඔව්. අපට තව දිගු ගමනක් යන්න තියෙනවා. වැල් පාලමෙන් එගොඩ වුණත් මෙතැනින් ඉස්සරහට තියෙන්නේ වංකගිරියක්. හරි පාරේ ගියේ නැතිනම් අපිව වල්මත් වෙනවා. අතරමං වෙනවා. ඒ ගමනේදී අප අවධානය යොමු කළ යුතු සාධක දෙකක් තියෙනවා. පළමුවැන්න මම හැමවිටම අවධාරණය කරන පරිදි මේ මාර්ගයේම ඉදිරියට ගමන් කිරීම. දෙවැන්න අතීතයේ සිට අප කළ වැරදි සහ වරද්දා ගැනීම් නැවත නොකිරීම. බංකොලොත් රටක් බවට අප පත්වීමට හේතු වූ කරුණු යළිත් නොකිරීම.

ඊට ඔබ ලෑස්ති නම් රටේ ආනාගතය සුරක්‍ෂිතයි. ඊට ඔබ ලෑස්ති නැතිනම් රටේ අනාගතය බියකරුයි.

මේ ගමනේදී අප සපුරාගත යුතු ඉලක්ක කීපයක් තියෙනවා. විදේශ විනිමය හිඟය අවම කර ගැනීම. වෙළෙඳ ශේෂය තුලනය කර ගැනීම. ආදායම් සහ වියදම් පරතරය හැකි තාක් අඩු කර ගැනීම. ප්‍රාථමික අය වැය ගිණුමේ අතිරික්තය උපරිම මට්ටමකට ගෙන ඒම. මූල්‍ය විනය ශක්තිමත්ව පවත්වාගෙන යෑම.

මේ කාර්යයන් උදෙසා අප නව ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුයි. නව ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආර්ථිකයක්. නවමු අදහස්වලින් පෝෂිත ඩිජිටල් සහ හරිත ආර්ථිකයක්.

එහෙම කළොත් අපට නව රැකියා සහ ආදායම් මාර්ග බිහි කරන්න පුළුවන් වෙනවා. ආයෝජන වැඩි වැඩියෙන් ලංකාවට ගෙන්වා ගන්න හැකි වෙනවා. බදු බරේ පීඩනය ක්‍රමානුකූලව අඩු කරන්න මාර්ග සැලසෙනවා.

වැට් බද්ද ඇතුළු බදු නිසා සමාජයේ එක් කණ්ඩායමක් අසීරුවට පත්වී ඉන්න බව අප දන්නවා. අපි බදු පැනවූයේ කැමැත්තකින් නොවෙයි. නමුත් ඒ හැර වෙනත් මක් අපට තිබුණේ නෑ. එය දුෂ්කර තීරණයක්. රටේ අනාගතය වෙනුවෙන් ඒ තීරණය ගන්න අපට සිදු වුණා. නමුත් ආර්ථිකය ශක්තිමත් වෙද්දී ජනතාවට වැඩි වැඩියෙන් සහන සැලසෙන පිළිවෙත් ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වෙනවා.

ඒ වගේම අපේ බදු නීති පද්ධතියේ දුර්වලතා සහ අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තිබෙනවා. මා අය වැය යෝජනා ඉදිරිපත් කරද්දීත් සඳහන් කළ පරිදි, බොහෝ දෙනෙක් බදු ලිපිගොනුවක් ලියාපදිංචි කරන්න මැලි වෙනවා. ඊට හේතුව ඔවුන්ට අනවශ්‍ය කරදර ගණනාවකට මුහුණ පාන්න සිදුවීම. මේ තත්ත්වය වෙනස් කරන්න අප ක්‍රියා කරනවා. බදු ලිපිගොනුවක් ඇති පුරවැසියන්ට හිරිහැර කරන ක්‍රමවේදයක් වෙනුවට ඔවුන්ට ගරු කරන ක්‍රමවේදයක් අප ඇති කරනවා.

බදු නීතියේ හිඩැස් නිසා, බදු ගෙවීම් පැහැර හරිමින් වසර ගණන් කාලය ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ තත්ත්වයත් වෙනස් කළ යුතුයි. අපි බදු ගෙවන්නා ආරක්‍ෂා කරනවා. බදු පැහැර හරින්නා නීතියට යටත් කරනවා.

මෙවැනි කාලීන වෙනස්කම් අපට කළ හැකි වන්නේ නව ආර්ථිකයක් නිර්මාණය කිරීම ඔස්සේ පමණයි. කාලීන සංකල්ප, අලුත් ක්‍රමවේද, යහපත් පිළිවෙත් හා නව ආයතනික නීති රීති හා අණ පනත් ඊට අවශ්‍යයි.

මේ සියලු අංගයන්ගෙන් සන්නද්ධ නව ආර්ථිකයක් නිර්මාණය කර ගත්තේ නැත්නම්, අතීත සංකල්පවලම එල්ලීගෙන ඉන්නවා නම්, අවුරුදු කීපයකින් ආයෙම අප ගින්දරට ඇද වැටෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වෙනවා. බදු බර අසීමිතව වැඩි කරන්න සිදු වෙනවා. රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න වෙනවා. ඒ විතරක් නොවෙයි, රැකියා අහිමි වෙනවා. ආයෙම මේ රට ගොඩගන්න අවුරුදු 25කින්වත් බැරි වේවි.

ඒ නිසා අප හණමිටි සංකල්ප බැහැර කොට අලුත් අදහස්, අලුත් සංකල්පවලින් පෝෂණය විය යුතුයි.

ඊට පසුබිම සදන්නට අපි අනාගත පරම්පරාවේ අධ්‍යාපන අවස්ථා වැඩි කරනවා. උසස් පෙළ සමත් හැම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පහසුකම් දෙනවා.

ඈත අතීතයේ පටන් අපි අපේ කෘෂි භෝග අපනයනය කළා. යළිත් ඒ තත්ත්වය ඇති කර ගත යුතුයි. ඒ සඳහා පරිපූර්ණ කෘෂි නවීකරණ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.

නව බලශක්ති ප්‍රභවයන් කරා අප යොමු විය යුතුයි. පුනර්ජනනීය හා හරිත බල ශක්තිය වැඩි වැඩියෙන් උපයෝගී කර ගැනීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවක් ඉඩම් සහ නිවාස හිමියන් කරන වැඩපිළිවෙළ ලබන වසරේ පළමු කාර්තුවේ අප ආරම්භ කරන්න සූදානම්.

මෙන්න මේ වගේ වැඩ කටයුතු රැසක් 2024 අය වැය මඟින් අප ක්‍රියාත්මක කරනවා.

අපේම වැරදි නිසා සංවර්ධන මාවතේ අවුරුදු පනහක් පමණ කාලයක් නාස්ති වී ගියා. මේ වැරදි කළේ කවුද කියමින් එකිනෙකාට චෝදනා නැඟීම විසඳුමක් නොවෙයි. අපට අහිමි වූ අවුරුදු පනහේ අඩුපාඩු සහ අතපසුවීම් ඉදිරි වසර 10දී අප සපුරා ගනිමු.

අයිඑම්එෆ් කොන්දේසිවලට යටත් වෙනවා නම් රටක් පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා සමහරු තර්ක කරනවා. බලයට ආවාම අයිඑම්එෆ් එකට තමන් කොන්දේසි දාන බවට ඔවුන් වහසි බස් දොඩනවා. ඇත්තටම මේවා බොලඳ කතා. එවැනි කතා කියන්න පුළුවන් ආර්ථිකය ගැන මොන්ටිසෝරි දැනුමක් තියෙන අයට.

මතක තියාගන්න. අපට අයිඑම්එෆ් කොන්දේසිවලින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ, මේ කොන්දේසි යටතේ මේ මාර්ගයේම ඉදිරියට ගොස්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගත්තොත් විතරයි. අනික් ආසියානු රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම තමන්ගේ රටවල් ගොඩනඟා ගත්තේ එහෙමයි.

1991දී ඉන්දියාව දරුණු ආර්ථික අර්බුදයකට පත් වුණා. ඒ වගේම තායිලන්තය 1997දී බරපතළ ආර්ථික කඩාවැටීමකට ලක් වුණා. ඒ රටවල් යළි නැගී සිටීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගත්තා. මූල්‍ය අරමුදල සහ ණය හිමියන් දැමූ තදබල කොන්දේසිවලට යටත්ව තම තමන්ගේ ආර්ථිකයන් යළි ගොඩනඟා ගත්තා. ආර්ථිකය කඩා වැටීමට හේතු හඳුනා ගත්තා. දැවැන්ත හා විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ කළා.

අපේ කලාපයේම තියෙන බෞද්ධ රටක් වූ තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර යම් සංසන්දනයක් කරන්න මම කැමතියි.

1960දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 1 ක්. තායිලන්තයේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 2 ක්. 2022 වෙද්දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 74ක්. තායිලන්තයේ බිලියන 495ක්.

1960දී තායිලන්තයේ දළ දේශීය නිෂ්පාදිතය අපි වගේ දෙගුණයක්. 2022දී අපි වගේ හය ගුණයක්.

මේ රටවල් දෙකේ ඒක පුද්ගල ආදායම සංසන්දනය කළොත් මෙන්න මෙහෙමයි.

1960දී අපේ රටේ ඩොලර් 144ක්. තායිලන්තයේ ඩොලර් 103ක්. 2022දී අපි 3474 ක්. තායිලන්තය අපි වගේ දෙගුණයක්. ඩොලර් 6908 ක්. තායිලන්තයට පුළුවන් නම් අපට බැරි වුණේ ඇයි? තායිලන්තය මේ ආර්ථික ශක්තිය ලබා ගැනීම උදෙසා පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා.

අර්බුදයට ලක් වී යළි නැඟී සිටි හැම රටක්ම ජය ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් පැනවූ මූල්‍ය කොන්දේසි අනුගමනය කිරීමෙන්. ඔවුන් ඒ ගමන් ම‍ඟෙහිම ගොස් තම තමන්ගේ ආර්ථිකය ගොඩ නංවා ගත්තා. කොන්දේසි කඩපු රටවල් ආයෙම අගාධයට ඇද වැටුණා.

ඒ නිසා මතක තියාගන්න මේ කොන්දේසිවලින් නිදහස් වෙන්න අපට පුළුවන් වෙන්නේ මේ කොන්දේසි අනුගමනය කිරීම ඔස්සේ පමණයි. කොතරම් දුෂ්කර වුණත් ඒ කොන්දේසි අනුගමනය කර ගනිමින් නව ආර්ථිකයක් ගොඩනංවා ගත්තොත් විතරයි.

ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව, ජපානය, චීනය වැනි ආසියානු කලාපීය රටවල් තම තමන්ගේ ආර්ථිකයන් ශක්තිමත් කර ගත් ආකාරය අප ආදර්ශයට ගත යුතුයි. මේ ආසියානු සම්මුතීන් ඔස්සේ අපේ ගමන ඉදිරියට යා යුතුයි.

නමුත් සමහර කණ්ඩායම් මේ ගමනට විවිධ බාධා කරනවා. මේ ගමන කඩාකප්පල් කරන්න වැඩ වර්ජන කරනවා. මතක තියාගන්න. අද දවසේ රුපියල් දහදාහක්, විසිදාහක් වැඩි පඩි ඉල්ලා වර්ජන කරන අය විනාශ කරන්නේ රටේ අනාගත පරම්පරාවයි. අම්මා කෙනෙකුගේ කුසයේ පිළිසිඳ ගන්නා දරුවාගේ සිට මෙලොව එළිය දුටු සියලු දරුවන්ගේ අනාගතය ඔවුන් රුපියල් දසදහසක් වැනි මුදලකට යට කරනවා. රුපියල් දහදාහකට නූපන් දරුවන්ගේ අනාගතය ගබ්සා කරනවා.

ආසියාව දෙස බලන්න. ඉන්දියාව ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. තායිලන්තය ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ආසියානු රටවල් ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ඒ රටවල තාත්තලා, අම්මලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තම තමන්ගේ වර්තමානය කැප කළා. ඒත් අපේ රටේ සමහර තාත්තලා අම්මලා තම තමන්ගේ වර්තමානය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න වැඩවර්ජන කරනවා. කඩාකප්පල් වැඩ කරනවා. මේක කනගාටුවට කරුණක්.

හැබැයි රටේ තත්ත්වය, ආර්ථික අර්බුදය සහ අප මේ යන ගමනේ නිවැරැදිතාව සහ ප්‍රගතිය තේරුම් ගත් පිරිසක් මේ රටේ ඉන්නවා. දුෂ්කරතා විඳ ගනිමින් මේ මාර්ගයේම තවත් ඉදිරියට ගියොත් ක්‍රමක්‍රමයෙන් අපහසුතා අඩු කරගන්න පුළුවන් බව ඒ අය දන්නවා.

ආර්ථිකය ස්ථාවර වෙද්දී, ශක්තිමත් වෙද්දී ජනතාව පිට පැටවී තියෙන බර අඩු කරන්න පුළුවන්. මේ අය වැය මඟින් රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට අප සහනයක් දුන්නා. අනාගතයේ ඒ සහන මුළු රටටම දෙන්න පුළුවන් වෙනවා.

ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන මති මතාන්තර පසෙක දමා රට වෙනුවෙන් එකට එක්වෙන්න කියලයි. තව අවුරුදු හතරක් පහක් දුෂ්කරතා සහ බාධක මැද ඉදිරියට ගියොත් අපේ ඊළඟ පරම්පරාවට යහපත් අනාගතයක් සකස් කර දෙන්න අපට පුළුවන්.

අප යන මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රටේ ජනතාවගෙන් බහුතරයක් ඉඩම් හිමියන් හා නිවාස හිමියන් බවට පත් වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් කෘෂි නවීකරණයක් ඇති කරලා තුන්වේල කන්න ලැබෙනවාට කැමති නැති අයට විතරයි.

ගරු කථානායකතුමෙනි,

අපි අපේ හෘද සාක්‍ෂියට අවනත වෙමු. දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු. රටේ අනාගතය සහ ජාතියේ ඉදිරි ගමන ගැන කල්පනා කරමු. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙමු. මම මේ ගරු සභාවට මේ ප්‍රශ්නය යොමු කරනවා.

අපේ රටේ උපන්, නූපන් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන්නට ඔබ සූදානම් ද?

ඔබ එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ක්‍රියාවෙන්.

ස්තුතියි.

t

o

p