ගාසා සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි

November 25, 2023

ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට බාර දී ඇත.

මේවන විට ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක අතර ඒ අනුව මෙලෙස හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 24 දෙනෙකු නිදහස් කර ඇති අතර ඔවුන් නැවත ඊශ්‍රායලයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් අතර ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු, තායිලන්ත ජාතිකයින් 10 දෙනෙකු සහ පිලිපීන ජාතිකයෙකු සිටින බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත් වීමක් සිදුකරන කටාරය සදහන් කර තිබේ.

ඊශ්‍රායල ජාතිකයින් අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවයේ ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක් ද ඇතුළත් ය.

එසේම සටහන් විරාමයේ කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන රැඳවියන් පිරිසක් මේවන විට බටහිර ඉවුරට නිදහස් කර ඇත.

මෙම කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 ක් සහ පලස්තීන රැඳවියන් 150 ක් නිදහස් කිරීමට අදහස් කෙරේ.

එසේම ගාසා තීරයට අවශ්‍ය වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ ආහාර රැගත් ලොරි 137 ක් අද ඊජිප්තුවෙන් ඇතුළු වීමට අවසර ලැබී ඇතැයි සදහන් කෙරේ.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගත්හ. එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පුද්ගලයන් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

t

o

p