පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගීවීම ගැන විශේෂ නිවේදනයක්

November 20, 2023

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගීවීම සහ කාරක සභා වැඩකටයුතු සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධ මහතා විසින් පාර්ලි‍මේන්තුවට විශේෂ නිවේදනයක් අද (20) ඉදිරිපත් කළේය.

පාර්ලි‍මේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රී නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩකටයුතු සඳහා කැඳවීම් කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ටද එකි කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ටද පමණක් එම කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි බවත්, වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී කාරක සභා කාමර තුළට පැමිණීමට කිසිදු හෝ අවසරයක් නොමැති බවත් කථානායකවරයා අවාධාරණය කළේය.

මීට අමතරව, කාරක සභා සභාපතිවරයන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු කිරීමේ ප්‍රවණතාවයන් පිළිබදව තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බවද කථානායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරයන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහ උපදේශක කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීම‍ට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කථානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවද කථානායකවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

තවද, කාරක සභාවක වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත්, පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමටත්, එම කාරක සභා නිල ලිපි ශීර්ෂ කිසිම ‍අවස්ථාවකදී පෞද්ගලික හෝ දේශපාලනික කාර්යයන් වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවටත්, එලෙසම, කාරක සභා වැඩකටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදීද මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත්, සියලුම කාරක සභා සභාපතිවරයන් විසින් වගබලා ගතයුතු බවටද කථානායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කළේය.

t

o

p