මඩකලපුවට නව ඇමෙරිකානු නවෝත්පාදන කේන්ද්‍රයක්

November 16, 2023

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය අද දින මඩකලපුවේදී නව ඇමෙරිකානු නවෝත්පාදන කේන්ද්‍රය (iHub) විවෘත කළ අතර, එම අවස්ථාව සඳහා විශේෂ අමුත්තකු වශයෙන් සහභාගි වූ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් මහතා පිළිගත්තාය. එ.ජ. තානාපති කාර්යාලය සහ Dream Space Academy හි හවුල් මුලපිරීමක් වන, මඩකලපුවේ ඇතිකළ නවෝත්පාදන කේන්ද්‍රය නැගෙනහිර පළාතේ තරුණතරුණියන් සවිබලගැන්වීමට, දැනුම හුවමාරුව සඳහා සහයදීමට, සහ එක්සත් ජනපදයේත් ශ්‍රී ලංකාවේත් ජනතාව අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි. මඩකලපුවේ ඇතිකළ මෙම නවෝත්පාදන කේන්ද්‍රයට අමතරව එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටවූ ඇමෙරිකානු අවකාශ (American spaces) කොළඹ, මහනුවර, යාපනය සහ මාතර පිහිටා තිබේ.

“ශ්‍රී ලංකාවේ අප ඇතිකරන පස්වැනි ඇමෙරිකානු අවකාශය වන මඩකලපුවේ iHub, නැගෙනහිර පළාත එක්සත් ජනපදය සමගින් සම්බන්ධ කරන ප්‍රධාන සාධකයක් වනු පමණක් නොවේ, මේ දිවයිනේ මුළුල්ලේ තරුණතරුණියන් එකිනෙකා සමගින් සම්බන්ධ කරනු ඇති,” යනුවෙන් එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය. “75 වසරක ද්වීපාර්ශවීය සබඳතා සමරන මේ වසරේ ආරම්භ කරන මේ මධ්‍යස්ථානය නවෝත්පාදනය, නායකත්වය, අධ්‍යාපනය, සහ සහයෝගීතාවය පෝෂණය කරමින් මේ ප්‍රදේශයේ තරුණතරුණියන්ට සහ ශාස්ත්‍රවේදීන්ට සුවිශේෂී අවස්ථා උදාකරනවා. එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ඇති කල්පවත්නා සහ ශක්තිමත් සම්බන්ධතාවය අවධාරණය කරමින්, මෙම අවකාශය සියළුම දෙනාට සුවපහසුවෙන් සහ පෙළඹීමෙන් යුතුව වැඩ කළ හැකි අවකාශයක් වේවි.

පොත්පත්, ඩිජිටල් ද්‍රව්‍ය, බහුමාධ්‍ය අන්තර්ගතයන් සහ මාර්ගගත දත්ත සමුදායන් ඇතුළු පුළුල් පරාසයක සම්පත් වෙත නොමිලයේ ප්‍රවේශය සලසමින් මඩකලපුව iHub සම්බන්ධවීම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස නිර්මාණය කර ඇත. එය සිසුන්ට, පර්යේෂකයන්ට සහ උනන්දුව දක්වන්නන්ට ඔවුන්ගේ දැනුම හා අවබෝධය පුළුල් කිරීමට, සාකච්ඡා කිරීමට සහ අධ්‍යාපනික සහ සමාජ සංවර්ධනයට දායක වන ව්‍යාපෘති සඳහා සහයෝගී වීමට එක්රැස් විය හැකි අවකාශයක් ලෙස ක්‍රියා කරයි. ඉංග්‍රීසි භාෂා ඉගෙනීම, ව්‍යවසායකත්වය, STEM (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) සහ ඇමරිකානු සාහිත්‍යය සහ ඉතිහාසය වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන විවිධ වැඩසටහන්, වැඩමුළු සහ සිදුවීම් ද iHub හි පවත්වයි. මෙම ක්‍රියාකාරකම් සහභාගිවන්නන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම පමණක් නොව සිතුවිලි සහ අදහස්වල විවිධත්වය පිළිබඳව ගැඹුරු අගයකිරීමක් ඇති කරයි.

7 ඒ, සරවන පාර, කල්ලඩි , මඩකලපුව යන ලිපිනයේ පිහිටා ඇති iHub සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.9.00 සිට සවස 5.00 දක්වා සහ සෙනසුරාදා දිනයේ 9:00 සිට 12 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. iHub හි සියලුම නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් නොමිලේ පවත්වනු ලැබේ.

වැඩිදුර විස්තර සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ ඇමෙරිකානු අවකාශ වෙබ් අඩවියට පිවිසෙන්න:

https://lk.usembassy.gov/education-culture/american-spaces/

t

o

p