DFC ශ්‍රී ලංකාවේ කොළඹ වරාය යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන භාගයක් කැප කරයි

November 9, 2023

කොළඹ – දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද දින නිවේදනය කරන ලදී.

තම හවුල්කරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වන, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ආයෝජනය කරන සහ දේශීය මූල්‍ය තත්වයන්ට ගරු කරන, උසස් තත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරයි. මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමඟ ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීමයි.

කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම නව පර්යන්තය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරී නේතන් මහතා සමඟ එක් වූහ.

“අපගේ හවුල්කරුවන්ගේ උපායමාර්ගික තත්ත්වයන් ශක්තිමත් කරමින් සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන පුද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට DFC කටයුතු කරනවා. කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් ආයෝජනයෙන් අපි ලබා දෙන්නේ එයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන මාර්ගස්ථ (transit) කේන්ද්‍රස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් ශ්‍රී ලංකා ජල තීරය හරහා සංක්‍රමණය වනවා. බටහිර බහාලුම් පර්යන්තය සඳහා පුද්ගලික අංශය වෙත ණය වශයෙන් ඩොලර් මිලියන 553 ක් ලබාදීමට DFC හි කැපවීම, ස්වෛරී ණය බරට තවත් එකතුකිරීමක් නොකර ශ්‍රී ලංකාවට වැඩි සමෘද්ධියක් ඇති කරන අතරම කලාපය පුරා සිටින අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තත්ත්වය ශක්තිමත් කරමින් රටේ නැව්ගත කිරීමේ ධාරිතාව පුළුල් කරනු ඇති.”

ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය මෙසේ සඳහන් කළාය, “කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ දිගුකාලීන සංවර්ධනය සඳහා DFC සිදු කළ ඩොලර් මිලියන 553 ක ආයෝජනය, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය මූලික කරගත් වර්ධනයට පහසුකම් සපයන අතර ආර්ථිකය යථා තත්වයට පත්වන අතරතුර තීරණාත්මක විදේශ විනිමය ආකර්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ දිගුකාලීන කැපවීම මේ මූල්‍යකරණයන් සංකේතවත් වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ස්ථාවර තත්වයට පත්වීම නිදහස් හා සමෘද්ධිමත් ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා අපට ඇති ඒ පොදු දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති.”

මෙම ආයෝජනය DFC ක්‍රියාත්මක වන ආකාරය වන, උපායමාර්ගික, ආර්ථික වශයෙන් යහපත් සහ පුද්ගලික අංශය විසින් මෙහෙයවන ව්‍යාපෘති සඳහා සහාය දක්වන ක්‍රමවේදය පිළිබිඹු කරයි. DFC ලෝක මට්ටමේ අනුග්‍රාහකයන් වන John Keells Holdings සහ Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමඟ කටයුතු කරයි. මෙම සමාගම් සතුව ඇති දේශීය අත්දැකීම් සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන්, දේශීය රැකියා සඳහා සහාය වීමට සහ මෙම ව්‍යාපෘතිය ඉන්දු- ශාන්තිකර කලාපය සඳහා දිගුකාලීන තිරසාර සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත.

කොළඹ වරාය ඉන්දියානු සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. අමතර ධාරිතාවක් සඳහා සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ඉඟි කරමින් එය 2021 වසරේ සිට සියයට 90කට වඩා වැඩි උපයෝගිතා මට්ටමකින් ක්‍රියාත්මක වී තිබේ. ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම සහ මෙම පුළුල් වන වෙළඳපොළට ඇති සමීප බව ප්‍රයෝජන ගනිමින්, ඉන්දියාව ඇතුළු බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථික සඳහා නව පර්යන්තය හරහා පහසුකම් සපයයි.

t

o

p