2022 විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පිළිගැන්වෙයි

November 1, 2023

2022 වර්ෂයේ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා වූ වාර්ෂික කාර්ය වැඩසටහන විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී සිදු විය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන 2200කට වැඩි සංඛ්‍යාවක් 2022 වර්ෂය තුළ විගණනයකර ඒවායේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ. එම කාර්යයන්වලට අදාළව සිදුකරන ලද කටයුතු මෙම වාර්ෂික වාර්තාවට ඇතුළත් කොට ඇත.

මීට අමතරව විශේෂ විගණන වාර්තා කිහිපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට 2022 වර්ෂය තුළ විගණකාධිපතිවරයා විසින් කටයුතු කර ඇත. මෙම ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගවලට අදාළ නිගමන මෙම වාර්තාවට ඇතුළත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා විසින් මෙම වාර්ෂික වාර්තාව නියෝජ්‍ය කථානායකවරයාට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව 2024 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට මෙහිදී බාරදෙන ලදී.

විගණකාධිපතිවරයාගේ 2022 වර්ෂයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. එසේම 2024 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික කාර්ය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කර එය ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. තවද පාර්ලිමේන්තුවේ විවිධ කමිටු එක්ව විගණාධිපතිවරයා සහ ජාතික විගණන කාර්යාලය සිදුකරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

t

o

p