දූෂණ කළ සේවකයන් සදහා ක්‍රියාමාර්ග නොගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අගෞරවයක්

November 1, 2023

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයෙන් හෙළි වූ කරුණු අනුව දූෂණ වංචා සිදු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව විමර්ශන කටයුතු කඩිනමින් නිසි පරිදි සිදු නොවීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මගින් පත්කළ අනුකමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

තවදුරටත් මෙම ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා සිදුවීමට එය අනුබලදීමක් බවත් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් නිසා සමස්ත වෘත්තීය ගරුත්වයට ද හානියක් බැවින් ඉදිරියේදී මෙවැනි ක්‍රියා වැළැක්වීමට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් අනුකමිටුව විසින් අවධාරණය කරන ලදී.

2022 වසරේදී සිදුකළ විගණනකදී කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී සොයාගත් ශල්‍ය පරිභෝජන ද්‍රව්‍යවලට අදාළ සිද්ධි‍යට සම්බන්ධ සේවකයන්ට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව කමිටුවේ අවධානය යොමු වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

මීට අදාළව ජාතික රෝහලෙන් කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කරගෙන යන බවත් ඒ අනුව චූදිත නිලධාරිනියක වැඩ තහනමකට ලක් කර ඇති බවත් නිලධාරීන් පැවසුව ද මීට සම්බන්ධ අනෙකුත් නිලධාරිනියගේ වැඩ තහනම් කිරීම ප්‍රමාද වීම, තොග පොත් එම සිද්ධිය වූ වහාම සිය භාරයට ගෙන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්නේය. එම තත්ත්වයන් නිසා විමර්ශනයකදී හෝ අධිකරණයකදී ඔවුන් නැවත නිවැරදිකරුවන් බවට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවත්, දූෂණ අක්‍රමිකතා නැවැත්වීම සදහා මෙම තත්ත්වය බාධාවක් බවත් ඔවුහු අවධාරණය කළහ.

වසර 10 ක් මුළුල්ලේ මෙම නිලධාරිනිය විසින් මෙලෙස වංචාවන් සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණය වූ අතර මෙපමණ කාලයක් මෙවැනි චංචාවන් සිදුවිය හැකිවන ලෙස පවතින පරිපාලනයේ දුර්වලතා වහාම මගහරවා ගැනීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණි. රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check) ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි දීර්ඝ කාලීන වංචාවන් සිදුවී ඇති බව පෙන්වා දුන් අනුකමිටුව ඉදිරි‍යේදී තවත් රෝහල්වලත් මෙවැනි චංචා සිදුවීම වළක්වා ගැනීම සදහා නිසි කළමනාකරණ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මේ සදහා චෝදනා ලබා ඇති විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් පිළිබද විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ කටයුතු ඇරඹීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමුකොට ඇතිබව නිලධාරීහු පැවසුහ. එම කටයුතු කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර මෙම චංචාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස අනුකමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

මෙම කෝපා අනුකමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කැදවා තිබූ අතර 2019/2020/2021 වසරවල රෝහල් කළමනාකරණට අදාළ විගණන විමසුම් පිළිබද විමර්ශනය කිරීම සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණුම්වලට අදාළව පරිගණක පද්ධතියේ මගහැරුණු වත්කම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. ‍මීට පෙර ද මේ සම්බන්ධ විගණන නිර්දේශ ඇති බැවින් මූල්‍ය නොවන වත්කම් ගිණුම් පද්ධතිය තුළ නිවැරදි ලෙස යාවත්කාලීන වීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. ඒ අනුව ලබන දෙසැම්බර් 25 වැනිදාට පෙර මේ සම්බන්ධ ප්‍රගතිය කමිටුවට දැනුම් දෙන ලෙස නියෝග කෙරිණි.

කුරුණෑගල, අනුරාධපුර ආදී රෝහල්වල ආපන ශාලා බදුදීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා, මාතර මහරෝහලේ පවිත්‍රතා සේවය ලබා ගැනීම, රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ආදියට අදාළ විගණන විමසුම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

t

o

p