මත්පැන් බෝතල් සඳහා යොදන ස්ටිකරය මුද්‍රණය කරන සමාගමට විරුද්ධව වහාම කටයුතු කරන්න – කෝපා කමිටුව

October 16, 2023

මත්පැන් බෝතල් සඳහා යොදන ස්ටිකරය මුද්‍රණය කරන සමාගමට විරුද්ධව වහාම කටයුතු කරන ලෙස කෝපා කමිටුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීම සිදු විය.

මෙසේ සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අනාවරණය වූයේ ව්‍යාජ ස්ටිකර් සහිත මත් පැන් බෝතල් වෙළඳපොලට නිකුත් වී ඇති බවයි. මත් පැන් නිෂ්පාදන සමාගම් තුනකින් නිකුත් කළ මත් පැන් බෝතල් වල මෙසේ ව්‍යාජ ස්ටිකර තිබූ බව හඳුනාගත් බවද මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව මෙම ආයතන තුන සම්බන්ධයෙන් කෝපා කමිටුව විමසා සිටි අතර ඉදිරියේදී මෙලෙස ව්‍යාජ ස්ටිකර ඇලවූ මත් පැන් සමාගම් හසු වුවහොත් ඒවායේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ‌කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එසේම මෙම නිෂපාදනාගාර තුන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට යොදවා ඇති සුරාබදු දෙපාර්තම්න්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන්ද ඔවුන් සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කෝපා කමිටුව විමසා සිටියේය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ අදාළ නිලධාරීන් සිථාන මාරුවකට ලක් කොට ඇති බවයි. නමුත් පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එම ස්ථාන මරුකිරීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි. මේ අනුව මෙම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ මාරු කිරීම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

එසේම මෙහිදී පැමිණ සිටි සාමාජික මනිත්‍රීවරුන් සඳහන් කළේ මෙම ආරක්ෂිත සිටිකර මුද්‍රණය කරන සමාගමද අසාදු ලේඛන ගත කොට ඇති සමාගමක් බවයි. මේ අනුව කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙම සමාගම ගිවිසුමේ කොන්දේසි විශාල ප්‍රමාණයක් කඩ කර ඇති බව නිරීක්ෂණය වන බවයි. මේ නිසා මේ සමාගම සම්බන්ධයෙන් වාරතාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළ අතර මෙම සමාගම සමග පවතින ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙසද නිර්දේශ කළේය.

තවද ව්‍යාජ සිටිකර සහිත මත් පැන් අලෙවි කරන අලෙවි සැල් වල බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳවද ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පියවර පිළිබඳවද කෝපා කමිටුව මෙහිදී විමසා බැලීම සිදු විය.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථාපිත කරන RASED පරිගණක තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද මෙහිදී කෝපා කමිටුව විමසා සිටියේය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මෙම වර්ෂයේ අයවැයෙන් මෙම පද්ධතිය අවසන් කිරීමට රුපියල් මිලියන 100ක් ලැබී ඇති බවයි. මේ නිසා මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධකරගනිමින් මෙම තොරතුරු පදිධතිය සකස් කිරීමට කටයතු කරන බව නිලධාරීහු සඳහන් කළේය. මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මාස 9 ගතවනතෙක්ම මෙම කටයුතු සිදු කර නැති බැවින් ඉදිරි මාස 3 ඇතුළත මෙම කටයුතු අවසන් කළ හැකිද යන්නයි. මේ අනුව මේ සම්බන්ධයෙන් දින වකවානු සහිතව වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය.

2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර නිලධාරීන් සඳහන් කළේ මෙම මස 30 වන විට හිග බදු නොගෙවන මත් පැන් අලෙවිසැල් වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ අනුව මේ සමිබන්ධයෙන්ද කෝපා කමිටුව වාරතාවක් ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

තවද මේ වන විට මෙරට මත්පැන් අලෙවිය අඩු වී ඇති බවත් මේ නිසා සුරාබදු ආදායම අඩුවී ඇති බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්නේය.

t

o

p