බම්බලපිටිය ගුවන් පාලම හදන්න ජනපතිගෙන් උපදෙස්

October 10, 2023

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ සඳහන්.

එම කාලය දක්වා තාවකාලික ප්‍රවේශ මාර්ගයක් දින 10ක් තුළ ඉදිකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

දැනට පවතින ගුවන් පාලම කඩා ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිත බවයි.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු ඊයේ (09) සිට ආරම්භ කරන ලෙස එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

t

o

p