පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අවලංගු කරයි

September 22, 2023

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද දින පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒකමතික එකඟත්වය හිමි විය.

මෙලෙස ඒකමතික එකඟත්වය හිමි වුයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය. මේ සඳහා නීතිපති උපදෙස් පරිදි, සංශෝධනයට ලක් වූ පනතක්, සංශෝධනයට පෙර පැවති ලෙස නැවතත් වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරු ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරු සඳහා ස්ථාන මාරු කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය කිරීමද මෙහිදී සිදු විය.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි ස්ථානගත නොකිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසිපරිදි සිදුකළ යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව වහාම ඒ සදහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු කිරීම පිළිබඳ අලුත් තීරණයක් නොමැති බැවින් හා පළාත් සහ සමස්ත රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු පවත්නා නිසාත්, එම පුරප්පාඩු සඳහා කළමනාකරණ සේවා නිලධාරී තෙවන ශ්‍රේණියේ සීමිත තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන මේ වන විටත් පත්වීම් ලබා සිටින සේවකයන් එම පුරප්පාඩු පවත්නා තනතුරැ වල පිහිටු වීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

t

o

p