ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂ අතිරික්තයක්

September 22, 2023

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය විය.

“GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම කරුණු කාරක සභාව වෙත අනාවරණය කරන ලදී.

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් විසින් GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා වල වත්මන් තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කළ අතර මේ පිළිබඳව කමිටුව තුල දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මේ පිළිබඳව සාකච්ජා වුයේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය. එහිදී තරුණ නියෝජිතයින්ට හට සිය ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුව අවස්ථා ව ලබා දෙන ලදී

ඒ අනුව ශ්‍රී ලංකාව මිනිරන් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් ආශිර්වාද ලත් රටක් වුවද, එම ඛණිජ සම්පත් එකතු කළ අගයකින් යුත් නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේදී අඩු කාර්ය සාධනයක් සහිත මට්ටමක පවතින බව කාරක සභාවට සහභාගි වූ තරුණ නියෝජිතන් ප්‍රකාශ කළහ.

මෙහිදී තරුණ නියෝජිතයින් පෙන්වා දුන්නේ බෝගල මිනිරන් පතල, කහටගහ පතල, රාගෙදර පතල සහ තවත් පතල් ශ්‍රී ලංකාව තුළ තිබුනද, එහිදී අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමක් සිදු නොවන බවත්, සෘජු පතල් කැණීම් සහ අපනයනය මත පදනම් වූ වෙළඳපොළක් පමණක් පවතින බවයි.

ඊට පිළිතුරු දුන් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නැනෝතාක්‍ෂණ ආයතනය (SLINTEC) සමඟ සමීපව කටයුතු කරන බවත්, දකුණු කොරියානු සහ ජපාන තාක්ෂණ සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලා මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත්ය. අපේක්ෂිත සංවර්ධනයක් නොපෙන්වුවද, වෙළඳපොළක් ඇති කිරීම සඳහා කර්මාන්ත සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සඳහා අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් ‘තනි කවුළු මෙහෙයුම් පද්ධතියේ පවත්නා තත්ත්වය වඩා විධිමත් කළ යුතු බව කමිටුවේ අදහස විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජකයෙකු අනුමත කිරීමට පෙර, ඊට අදාළ අනුමැතින් විශාල ප්‍රමාණයක් ලබා ගත යුතු බව කමිටුව පෙන්වා දුන් අතර කලාපකරණය අනුව අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සලකා බැලිය යුතු බව පෙන්වා දෙන ලදී.

එමෙන්ම ‘තනි කවුළු ක්‍රමය’බලාපොරොත්තු වූ ලෙස සාර්ථක නොවීමට හේතුව නිලධාරීන්ගේ හෝ රජයේ අකාර්යක්ෂමතාව නොව, නෛතික රාමුව තුළ යම් පවත්නා හිඩැස් බව කමිටුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. ඒ අනුව ඇතැම් නීති නැවත සමාලෝචනය කර සංශෝධනය කළ යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අදහස විය.

නිෂ්පාදන පිරිවැය සහ විවිධ නිෂ්පාදන අපනයනය කිරීමට අදාළ තාක්ෂණික ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කමිටුව වැඩිදුරටත් අවධාරණය කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ දේශීය වෙළෙඳපොළ තුළ පවා ඇතැම් නිෂ්පාදන සඳහා ඉල්ලුමක් පවතින නමුත් සැපයුම් දාමයේ අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම විශාල ගැටළුවක් බවයි. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම හේතුවෙන් මිල වැඩි වන අතර මේ හේතුවෙන් ගැනුම්කරුවන් අහිමි වන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී නිලධාරීන්ට, කමිටුව විසින් පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැය අධික වීම ගැටලුකාරී තත්වයක් බවත්, මෙම ගැටලුව විසඳීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව නිලධාරීන් සොයා බැලිය යුතු බවයි.

විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති හා මහ කොමසාරිස් කාර්යාල වල පවතින සේවක හිඟය සඳහා ස්ථිර පිළියම් යොදන තෙක් ස්වේච්ඡා පදනමින් සිය සේවය ලබා දීමට කැමති අයවළුන් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභවේ සභාපති විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිර් දේශ කරන ලදී.

යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සේවයේ නියුතු අදාල නිලධාරීන්ගේ පුළුල් මැදිහත් වීමක වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ කාරක සභාව ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට කාරක සභාවේ සභාපති විසින් උපදෙස් ලබා දෙන ලදී.

t

o

p