මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් වන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 2336/72 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි. සබන් නිෂ්පාදනය සදහා මෙරටට ‘සෝප් නූඩ්ල්ස්’ (soap noodles) ආනයනය කරන බවත් ඊට අමතරව සමාගම් කිහිපයක් පමණක් පාම් තෙල් මේද අම්ල ගෙන්වා සෝප් නූඩ්ල්ස් නිෂ්පාදනය කරන බවත් මෙහිදී අනාවරණය විය.
නමුත් මෙරටට පාම් මේද අම්ල ආනයනයේදී 24%ක නව රේගු බද්දක් අය කිරීම නිසා සබන් නිෂ්පාදන සමාගම් කිහිපයක් පමණක් පාම් තෙල් අම්ල වෙනුවට දැනට බදු පහළ අගයක පවතින පාමිටික් හා ලෝරික් යන අම්ල ආදේශක ලෙස ගෙන්වා සෝප් නූඩල්ස් නිෂ්පාදනය කරන බව නිලධාරීහු පැවසූහ. මෙම තත්ත්වය තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත වෙළදපොළ තුළ මිල සමානතාවක් පවත්වාගෙන යෑමටත්, රජයට බදු ආදායම අහිමි වීම වැළැක්වීමටත් මෙම ආදේශක අම්ල ද්විත්වයට 29%ක නව බද්දක් පැනවීම මෙම නියෝගය මගින් සිදුවන බව පෙන්වා දුන්හ. මෙම අම්ල වර්ග රබර් කර්මාන්තය සදහා ද යොදා ගන්නා බැවින් සබන් සදහා යොදා ගන්නා අම්ල සදහා නව HS කේත ද්විත්යක්ද නිර්මාණය කර ඇති බව ද පැවසීය.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ යම් සමාගමක් හෝ දෙකක් ඉලක්ක කර ගනිමින් ඔවුන් තාක්ෂණය සදහා ආයෝජනය කර ඇති පසුබිමක මෙසේ බදු පැනවීම කෙතරම් දුරට යුක්ති සහගතද යන්නයි. එය කර්මාන්තයේ තාක්ෂණික කාර්යක්ෂමතාවට බදු පැනවීමක් ද යන්න පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. එබැවින් මෙම නව බදු පැනවීමේ පදනම සහ නිශ්චිතවම අපේක්ෂිත අරමුණු සහ එහි බලපෑම සදහන් කරමින් වාර්තාවක් ලබන 22 වනදා වන විට ලබා දෙන ලෙස මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කෙරිණි.
1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 2341/64 ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. මුද්‍රණ කර්මාන්තය සදහා අවශ්‍ය මෙරට තින්ත නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය සදහා 2021 වසරේදී 15%ක රේගු බද්දක් පැනවීම නිසා තීන්ත ආනයනය සදහා යන වියදමට වඩා මෙරට නිෂ්පාදන වියදම වැඩිවීම සිදුවී ඇති බව නිලධාරීහු පැවසූහ. එම තත්ත්වය තුළ තරගකාරී මිලක් පවත්වා ගැනීමට නොහැකිවීම පිළිබද නිලධාරීහු කරුණු පෙන්වා දුන්හ. ඒ අනුව දේශීය මුද්‍රණ තීන්ත නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම බද්ද 5% දක්වා අඩු කිරීමට මෙම නියෝගය නිකුත් කළ බවද මෙහිදී අනාවරණය විය. මෙමගින් රජයට අහිමිවන බදු මුදල පිළිබදව කමිටුව විසින් විමසන ලදී. ඒ අනුව 1.5%ක ආදායමක් එනම් මසකට රු. ලක්ෂ 4.5 ක අදායමක් අහිමි වන බව නිලධාරිහු පැවසූහ. මෙවැනි සුළු බදු මුදල් වෙනසකට බදු ප්‍රතිපත්තියේ ස්ථාවර බව වෙනස් කිරීම කොතරම් දුරට සාධාරණද යන්න කමිටුව ප්‍රශ්න කෙරිණි. කෙසේ වෙතත් ඊට අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.
නිෂ්පාදන අමුද්‍රව්‍ය රේගු බද්දෙන් නිදහස් කිරීම සදහා පසුගිය අයවැයෙන් තීරණය කළ පරිදි එම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන බව ද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සත්භාවයෙන් යුතුව දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමට මෙවැනි පියවර ගත්තද ඇතැම් විට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් විශාල ලාභ ලැබීමත් පාරිභෝගියාට එහි වාසිය නොලැබීමත් පසුගිය කාලයේ දක්නට ලැබුණු බැවින් මේ පිළිබදව සැලකිලිමත් විය යුතු බවද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
රේගු ආඥා පනතේ 107(අ) වගන්තිය අනුව අංක 2329/46 දරන ගැසට් පත්‍රයේ ඇතුළත් කළ නියෝග පිළිබදව ද අවධානය යොමු විය. විගමනික ශ්‍රමිකයන්ට නීත්‍යනුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරි ගැන්වීමේ අරමුණින් ඔවුන් නැවත මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගනු ලබන භාණ්ඩ සදහා ඔවුන් විසින් එවන ලද විදේශ විනිමය ප්‍රේශන ප්‍රමාණය මත පදනම්ව අතිරේක තීරු බදු දීමනාවක් ලබා දීම මෙමගින් සිදුවේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති අතර ජංගම දුරකථන යෙදවුමක් ද භාවිතා කිරීම සිදුවන බව විදේශ හා කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධව කරුණු දක්වමින් පැවසීය.
මෙහිදී කමිටු සභාපතිවරයා කරුණු පෙන්වා දුන්නේ මෙහි අරමුණ යහපත් වුවද අඩු ආදායමක් සහිත කෙනෙකුට වඩා වැඩි ආදායමක් සහිත කෙනෙකුට හිමිවන බදු සහනයේ විශාල වෙනසක් පවතින බවයි. එබැවින් මෙහිදී යම් අසාධාරණයක් පෙන්නුම් කරන බැවින් මේ පිළිබදව නැවත සළකා බලන ලෙස ද කාරක සභාව උපදෙස් ලබා දීම සිදුකරන ලදී.
රජයේ මුදල් පිළිබද කාරක සභාව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබද පසුවිපරම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දැනට ලබා දී ඇති නිර්දේශ අදාළ කාල රාමුව තුළ ක්‍රියාත්මක කර නොමැති ආයතන සහ පාර්ශ්වයන් කාරක සභාව හමුවට කැඳවීමටත් මෙහිදී තීරණය විය.