පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට උපදෙස්

September 15, 2023

වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එ බැවින් ඒවායේ දියුණුවට පවතින බාධාවන් හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීමක් මුදල් කොමිෂන් සභාව සතුව පවතින බව සභාපතිවරයා පැවසීය.

පළාත් සභා ක්‍රියාත්මක නොවන කාල සීමාවේදී පළාත් සභා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම වැඩි කර තිබෙන බව මුදල් කොමිෂන් සභා නිලධාරීහු මෙහිදී පැවසුහ.

තව දුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් සඳහන් කළේ 2024 වර්ෂයට පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීමේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන්කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.

ඒ අනුව පළාත් සභා සඳහා කෙතරම් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවාද, ඊට සමගාමීව පළාත් සභා අත් කරගෙන තිබෙන ප්‍රගතීන් මොනවාද යන්න පිළිබඳව කමිටුව දැනුවත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබාදෙන ලදී.

පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ සභාපතිවරයා,පොලීසිය තවදුරටත් ජනතා මිත්‍රශීලි ආයතනයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්ය බව පෙන්වා දුන්නේය. ඒ අනුව පොලිසිය දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි බව සභාපතිවරය අවධාරණය කළේය.

මෙහිදී පොලිස් කොමිෂන් සභා නිලධාරීන් තම සේවා කටයුතු සිදු කිරීමේදී මුහුණ දී සිටින දැඩි මානව සම්පත් හිඟය පිළිබඳව සභාපතිවරයාගේ අවධානය යොමුකරන ලදී.

ඒ අනුව දැනට පොලිස් කොමිෂන් සභාවේ ප්‍රගතිය ගැන වාර්තාවක් සකස් කරන ලෙසත් එම වාර්තාවට පවතින අභියෝග හා ගැටලු පිළිබඳවද ඇතුලත් කර කමිටුවට භාර දෙන සභාපති වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

t

o

p