මහජන ක්ෂේත්‍රය තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමක්

September 15, 2023

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවත්විණි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ.

එහිදි පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ (පරිපාලන) නිශාන්ති එස්. වික්‍රමරත්න මහත්මිය සිසුන් දැනුවත් කළ අතර, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වන ලද්දේ සහකාර අධ්‍යක්‍ෂ (පරිපාලන) ඩී. ඩී. යූ. කේ. මුණසිංහ මහතා විසිනි.

පාර්ලිමේන්තුවට මහජන ප්‍රවේශයක් මැයෙන් පාර්ලිමේන්තුවේ මහජන සේවා කළමනාකාරිණි බුද්ධිනී රාමනායක මෙනවිය විසින් සිය අදහස් දැක්වූ අතර පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ක්‍රියාපටිපාටි පිළිබඳ සිසුන්ගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මෙහෙයවන ලද්දේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්‍ෂ පරිපාලන ජි. තච්චනාරාණි මෙනවිය විසිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන ලද වටිනා පොත් කට්ටලය බැගින් විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා බෙදා දීම මෙහිදී සිදු කරන ලද අතර රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඊ. එම්. එස්. ඒකනායක මහතා ඇතුළු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් සිය අදහස් දැක්වීම් සිදු කෙරිණි.

වැඩසටහනට සහභාගී වූ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු චාරිකාවක්ද සංවිධානය කර තිබු‍ණේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසිනි.

t

o

p