ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

September 14, 2023

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසිය යුතු වේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

දැනටමත් සුපිරි 4 වටයේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව තරග 2ක් ජයගෙන ලකුණු 4ක් ගෙන සිටින අතර, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරගය බැගින් ජය ලබා ලකුණු 2ක් ලබා සිටිති. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව -0.200ක් ලබා පාකිස්තානයට ඉහළින් සිටින අතර, පාකිස්තානය දල ලකුණු වේගය -1.892ක් සටහන් කර සිටී.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු

පාකිස්තාන සංචිතය: බාබර් අසාම් (නායක ), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, අගා සල්මන්, ඉෆ්තිකාර් අහමඩ්, සදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, ශහීන් අෆ්රිඩි , නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂානවාස් ධහානී හා සමාන් ඛාන්

t

o

p