උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ඒ බදු සංශෝධන ක්‍රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම මහතාගේ සභාපතිත්වයෙන් පාර්මෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම සාකච්ජාවේදී බදු සංශෝධන වලින් බලාපොරොත්තු වූ දේ සහ අරමුණු ඉටුවී තිබේද, ඒ ඔස්සේ බලාපොරොත්තු වූ ආදායම් උපාය ගැනීමට හැකිවී තිබේද යන්න පිළිබඳ දීර්ඝ ලෙස වෘත්තීය සංගම් නියෝජිතයින් අදහස් පළ කළහ. එම නියෝජිතයින් පැවසුවේ බදු සංශෝධනය තුළ උපයන විට බද්ද සඳහා සිදුකළ සංශෝධන නිසා බොහෝ වෘත්තිකයින් පීඩාවට පත්ව ඇති බවයි.
උපයන විට බද්ද සංශෝධනය කිරීම ඔස්සේ රජය, මේ වසරේ අපේක්ෂිත අදායම් ඉලක්ක වලට වඩා තවමත් පහළින් සිටින බව සාකච්ජාව සඳහා සහභාගී වූ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් බදු සංශෝධනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් හට සහන සලසා දීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.
දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිටත් බදු ක්‍රියාවලියට සම්බන්ද නොවූ පිරිස සම්බන්ධ කර ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් (Bulk Registration) මෙම සතිය තුල ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
බදු ගැටලුව හේතුවෙන් වෘත්තිකයින් රට හැරයාම දක්වා ගැටලුවේ සංකීර්ණතාවයත්, බරපතල කමත් කමිටුව විසින් මෙහිදී පිළිගන්නා ලදී. එබැවින් රජයට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) මෙම ගැටලුව විසදීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කරන බව කමිටුව, වෘත්තීය සංගම් නියෝජිතයින්ට සහතික විය.
ඉදිරියේදී හෝ බදු සංශෝධන සිදුවන විට ඒ ඒ වෘත්තීන් සඳහා බදු පැනවිය යුතු ආකාරය ගැන ප්‍රතිපත්තියක් සකස් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ නීතිමය ලියවිල්ලක් බවට පත්කිරීමේ වැදගත් කම සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව සති දෙකක් තුල සියලුම පාර්ශ්ව වල එකඟතාවයෙන් උපයන විට බද්දේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව වාර්තාවක් සකස් කර කමිටුව වෙත භාර දෙන ලෙස සභාපතිවරයා අදාල වෘත්තීය සංගම් නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේය.