රු.බිලියන 2ක වාර්තාගත ආදායමක් ලැබූ රාජ්‍ය ආයතනයක්

September 12, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම කැඳවා තිබිණි. මෙහිදී ආයතන‍ය ලබා ඇති ප්‍රගතිය පිළිබදව කෝප් සභාපතිවරයා සිය ශුභාසිංශන එක් කළේය.

එම ආයතනයේ 2021, 2022 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සිදුවිය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.

2022 වසරේ ආයතනයේ වැඩිම ආදායම වූ රු.බිලියන 2ක් සහ බදු ගෙවීමෙන් පසු රු.මිලියන 214ක ලාභයක් ද වාර්තා කිරීමට සමත්වූ බවත් මෙහිදී අදහස් දක්වමින් කළුබෝවිටියාන සමාගමේ සභාපතිවරයා පැවසීය. මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා 4ක් පවතින බවත් දළු ලබා ගැනීම ඇතුළු අභියෝග ගණනකට මුහුණදී සාර්ථකව ඒවා ජයගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ පවතින නීතිරීතිවලට ද අනුගත වෙමින් සමාගම සාර්ථකත්වය පෙන්වූ බව ද සමාගමේ සභාපතිවරයා සදහන් කළේය.

ආයතනය කුඩාවුවද ගිණුම්, මූල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු කාරනා අනුව විශාල ප්‍රගතියක් මෙම රාජ්‍ය සමාගම පෙන්වා ඇති බව විගණකාධිපතිවරයා පැවසීය. මෙවන් ප්‍රගතියක් සහිත ආයතයක් හමුවූයේ බොහෝ කාලයකින් බවත් ඒ මහතා ආයතනය අගයමින් සදහන් කළේය. මීට පෙර 2013 වසරේ මෙම ආයතනය කෝප් කමිටුවට කැදවා ලබා දී ඇති නිර්දේශ, සියයට අනූපහක ප්‍රමාණයකට අනුගත වෙමින් කටයුතු කර ඇති බවත් ඉහළ කළමනාකරණ දක්ෂතා තුළ විශාල ප්‍රගතියක් අත්පත්කරගෙන ඇති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී විගණන විමසුම් ද්විත්වයක් පිළිබදව පමණක් අවධානය යොමුවිය.

සමාගම විසින් ප්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ල මාසික කුලි පදනම මත ලබා ගැනීමේදී ගෙවන ලද තැන්පතු මුදල වන රු. මිලියන 1.4ක මුදල නැවත අයකරගැනීම ගැනීම පිළිබදව අවධානය යොමුවිය. මේ අනුව ඒ සදහා නඩු පවරා කටයුතු කරමින් සිටින බව නිලධාරීහු සදහන් කළහ.

තවද 2003 වසරේදී සියයට විසි දෙකක පොලී අනුපාතයට රාජ්‍ය සමාගමකට ලබා දුන් ණය මුදල අයකර ගැනීම සිදුකළද පොලිය අයකරගතයුතු වීම පිළිබදව ද අවධානය යොමුවිය. මේ අනුව එම ණය ලබා ගත් ආයතනය වාරික වශයෙන් රු. මිලියන 51ක පොලී මුදල ගෙවීමට කටයුතු කරන බවට සහතික වී ඇති බව ද නිලධාරීහු පැවසූහ.

t

o

p