නාගරික සංවර්ධන අධිකාරිය රු. බිලියන 45ක ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවයි

September 12, 2023

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේදී රුපියල් බිලියන 45ක වටිනාකමින් යුතු සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවා තිබේ.

දැනට ඉන් ව්‍යාපෘති 14ක සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතී. කොළඹ, නුවරඑළිය හා ඒකළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන එම සංවර්ධන ව්‍යාපෘති වල වටිනාකම රුපියල් බිලියන 35ක් පමණ වන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව කොළඹ චාමස් ධාන්‍යාගාර ඉඩම සංවර්ධනය, පැරණි ගොඩනැඟිලිවල අති සුඛෝපභෝගී සංචාරක හෝටල් ඉදිකිරීම, විනෝද උද්‍යාන සංවර්ධනය කිරීම, තානායම් සංවර්ධනය, බේරේ වැව ආශ්‍රිතව සිදුකෙරෙන ඉඩම් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ගුදම් පහසුකම් ව්‍යාපෘති, නාරාහේන්පිට පුද්ගලික රෝහලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙම සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මීට අමතරව සෘජු විදේශ ආයෝජන යටතේ ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ. විසුම්පාය ගොඩනැඟිල්ල සංවර්ධනය, යාපනය, කන්කසන්තුරේ නව විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘති ඒ අතරින් ප්‍රධානය. මෙම ව්‍යාපෘතිවල ආයෝජන වටිනාකම රුපියල් බිලියන 10කි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉකුත් දෙවසර (2021 -2022) තුළදී ව්‍යාපෘති 31 ක් සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉන් ව්‍යාපෘති 8ක් ආයෝජන සඳහා මුදාහැර තිබේ.

එහි මුළු ආයෝජන වටිනාකම රුපියල් මිලියන 33,841ක් වන බවද එම අධිකාරිය පවසයි.

මෙරට ඉඩම් විශාල ප්‍රමාණයක අයිතිය පවතින්නේ නාගරික සංවර්ධන අධිකාරිය සතුවය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම ඉඩම් ඵලදායීව ආයෝජන කටයුතු සඳහා යොදාගත යුතු බවයි. එමඟින් රට මුහුණදී සිටින ආර්ථික ගැටළුවලට විසඳුම් සොයාගත හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ඉඩම් සම්ප්‍රදායික බදු දීම සඳහා නම්‍යශීලී ගෙවීම් ක්‍රම යටතේ ආයෝජකයාට පිරිනැමීම, ආයෝජන ආකෘතියට නම්‍යශීලී බවක් ලබාදීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය හඳුන්වාදීම, වැනි ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබේ.

එමෙන්ම ආයෝජකයා විසින් ආයෝජනය කිරීමට බළාපොරොත්තු වන සංවර්ධන ව්‍යාපෘතියට අනුව ව්‍යාපෘති කාලසීමාවන් වසර 30,50,99 දක්වා වර්ගකර ඇත.

ඊට අමතරව නම්‍යශීලී ගෙවීම් කොන්දේසි යටතේ පහසුකම් සැලසීම, දේපල සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමට මූල්‍යමය හැකියාව ඇති නව ආයෝජකයන් වෙත අවස්ථාව ලබාදීම, ආයෝජන සඳහා අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම, ආයෝජකයන්ට හිතකර සංවර්ධන රෙගුලාසි පැනවීම, මූලික යටිතල පහසුකම් සැපයීම, විවිධාංගීකරණය වූ ආයෝජන අවස්ථා හඳුන්වාදීම, නේවාසික සංවර්ධන ව්‍යාපෘති සඳහා බදු වාරික ගෙවීමට ආයෝජකයන් දිරිගැන්වීම සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දීම, ආයෝජන මණ්ඩලයේ අනුමත සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට සෘජුව ඉඩම් ලබාදීම වැනි නාගරික සංවර්ධන අධිකාරියෙහි ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති හඳුන්වාදී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම නව ප්‍රතිපත්ති මගින් අප රට දෙස් විදෙස් ආයෝජනය සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කර ගත හැකිවනු ඇති බවයි.

t

o

p