කෝටි එකොළහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි අත් අඩංගුවට

September 12, 2023

රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(11) දින පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබා දුන් තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර මෙම බහාලුම ඉකුත් දා ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි.

වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් “100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් ” ලෙස රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබූ මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“මැන්චෙස්ටර්” වර්ගයේ මෙම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිට කර ගත්තේ නම් රුපියල් තිස් එක් කෝටි හැට ලක්ෂයක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගුව ගණන් බලා තිබේ.

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

t

o

p