දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

September 8, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ බහුතර ඡන්දයෙන් අනුමත විය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි විය.

මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ කාරක සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් නියම කර ඇති පරිදි 30% ක බදු වැඩිවීම අදාළ වන්නේ බැඳුම්කර කළඹේ (bond portfolio) පොලී ආදායමට පමණක් බව මහ බැංකුවේ නිලධාරීහු පැහැදිලි කළහ. තවද, විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සහභාගී වන අවස්ථාවකදී, මෙය 14% දක්වා අඩු වන බව ද පෙන්වා දෙන ලදී.

2025 දක්වා 12% ක ප්‍රතිලාභයක් සහ ඉන් පසුව 9% ක ප්‍රතිලාභයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ට සහභාගී වන විශ්‍රාම අරමුදල් වෙත සහතික කිරීමට මහ බැංකුවට ඇති හැකියාව ද කමිටුව ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ එක් එක් සාමාජිකයා වෙත නැවත ලැබීම සහතික කළ නොහැකි වුවද යෝජිත ප්‍රතිලාභය සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවයි. මෙම අනුපාතය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් යෝජිත ප්‍රතිලාභය 2025 දක්වා සහතික කිරීම සඳහා භාණ්ඩාගාරය මැදිහත් විය යුතු බවට දැනට සාකච්ඡාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ධනාත්මක ප්‍රතිලාභයක් සහතික කිරීම සඳහා උද්ධමනය ගැලපුම් පොලී අනුපාතිකයක් සලකා බැලිය යුතු බව කමිටුවේ අදහස විය. සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන්නේ නම්, EPF බැඳුම්කර කළඹට සිදුවන අවස්ථා අලාභය 4%ක් බවද මහබැංකු අධිපතිවරයා අනාවරණය කළේය. කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල සහභාගී නොවීමට තීරණය කළහොත්, දේශීය ආදායම් පනත් කෙටුම්පතේ නවතම සංශෝධනයට අනුව 30% ක ඉහළ බදු අනුපාතයක් හේතුවෙන් බැඳුම්කර කළඹට ඇති අවස්ථා අලාභය 21% දක්වා වැඩිවනු ඇත.

මීට අමතරව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සුදුසුකම් නොලබන සියලුම විශ්‍රාම අරමුදල් 30% ක බදු වැඩි කිරීමකට යටත් වන බැවින් අනාගතයේ දී නව විශ්‍රාමික අරමුදල් පිහිටුවීම අධෛර්යමත් විය හැකි බව නිරීක්ෂණය කරන ලදී.

තවද, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ලැයිස්තුගත කර ඇති බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා නම් කිරීම පිළිබඳව කමිටුව සුබ පැතුම් එක්කළ අතර, පැමිණ සිටි නිලධාරීන්ගේ ප්‍රයත්නය ද ඇගයීමට ලක් කරන ලදී.

t

o

p