ලන්දේසීන් රැගෙන ගිය අපේ උරුමයන් නැවත ගෙන්වා ගැනීමට ගිවිසුමක්

August 29, 2023

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ(28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය සහ නෙදර්ලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Gunay Uslu මහත්මිය එහිදී එක්වුහ.

මේ වනවිට නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හයක් මෙම ගිවිසුම මඟින් නැවත මෙරටට භාරදීමට නියමිතය.

මෙම කෞතුක භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමුකළ අතර එම ඉල්ලීම සලකා බැලු නෙදර්ලන්ත රජය මේ සඳහා ස්වාධීන උපදේශක කමිටුවක් පත්කොට,කමිටුවේ නිර්දේශයන්ට අනුව කෞතුක භාණ්ඩ ආපසු ලබාදීමට තීරණය කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේ ය.

අපේ රටේ උරුමයන් හෝ පුරාවස්තුන් මේ වෙද්දී විවිධ රටවලට සංක්‍රමණය වෙලා තියෙනවා.එහෙම වෙලා තියෙන්නේ අපේ කැමැත්තෙන් නෙවෙයි, බලහත්කාරයෙන්.මේ උරුමයන් නැවත අපේ රටට ලබා ගන්න නිල වශයෙන් වැඩ කටයුතු අපි අද ආරම්භ කළා.

මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් මාසය වන විට මෙරටට රැගෙන එනවා.ඒ වගේම මෙම පුරාවස්තුන් තැන්පත් කරන්න විශේෂ වැඩපිළිවෙලක් ද මේවන විටත් සකස් කරලා තියෙනවා.

එසේම,මේ වැනි උරුමයන් පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම හා අවබෝධය ලබාදීම සඳහා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

t

o

p