නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය ඇරඹෙයි

August 27, 2023

නවීන ලෝකයට ගැලපෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ඇරඹෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ, අධ්‍යාපන කලාපයේ පාසල් 34ක් මූලික කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් මෙම නියමු ව්‍යාපෘතියට අවසරය ලබාගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ, කලාප අධ්‍යාපන කාර්යාලයේදී පසුගියදා පැවැති මිනුවන්ගොඩ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දැනට අබලන් තත්ත්වයේ පවතින පාසල් ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ගැන මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 160ක් තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත ඉන් තෝරාගත් පාසල් 34ක් මූලික කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලුම සැලසුම් සකස්කෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මැදිහත්වීමෙනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පාසල් සංවර්ධනය කිරීමේ මූලික සැලසුම පුද්ගලික අංශයෙන් සිදුකළහොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

පාසල්වලට හෝ කලාප අධ්‍යාපන කාර්යාලවලට ඒ තරම් විශාල මුදලක් දැරීම අපහසු බැවින් පාසල් සංවර්ධනය කිරීමේ මූලික සැලසුම් සැකසීමට නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් සම්බන්ධ කරගත් බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත සකස්කළ මෙම සැලසුම සම්බන්ධයෙන් පාසල් සංවර්ධන කමිටු, ආදිශිෂ්‍ය සංගමය,පාසල් කළමනාකරණ කමිටු සමඟ සාකච්ඡා කරමින් මෙය වැඩිදුරටත් අධ්‍යයනය කරන ලෙසද පැවසීය. එහිදී මෙම සැලසුමට තවදුරටත් සංශෝධන එක් කළ යුතුනම් සති දෙකක් ඇතුළතදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විදුහල්පතිවරුන්‍ට උපදෙස් දුන්නේය.

ඒ සංශෝධනද ඇතුළත් කරමින් ලබන මාසයේදී මූලික සැලසුම සකස්කර අවසන් කරන බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට හා විදුහල්පතිවරුන්ට අවධාරණය කළේ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු මෙම සැලසුම් මත පදනම් වෙමින් සකස්කරගත යුතු බවයි.

t

o

p