මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව අනාවරණයක්

August 24, 2023

මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ඉංජිනේරු) නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී විය.

මෙරටට මගී ප්‍රවාහන බස් රථ ගෙන්වීම සඳහා අවම ප්‍රමිතියක් සකස් කිරීමට අදාල යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කමිටුව වෙත ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී අවම ප්‍රමිතියක් සකස් කිරීමට කමිටු රැස්වීම කැදවා තිබූ අතර, ඒ සඳහා ආයතන 18 ක් කැඳවා තිබිණි. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡා කිරීමකින් අනතුරුව ඉදිරියේදී මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී කමිටුව තීරණය කළ නිර්ණායකවලට අනුකූලව බස් රථ ගෙන්විය යූතු බවට කම්ටුවේදී තීරණය විය.

ලංකාවේ ධාවනය කෙරෙන වහානවලින් 90% ක් වායු විමෝචන ප්‍රමිතියෙන් තොර බවත් වාර්ෂිකව වායු විමෝචනයට ඉදිරිපත් කෙරෙන වහානවලින් 20% ක් වායු විමෝචනය අසමත් වන බවද කමිටුවේදී හෙළි විය. ලංකාවේ ධාවනය කෙරෙන වහානවලින් 90% කින්ම අහිතකර වායු පරිසරයට මුදා හරින බව හෙළිවිය.

කමිටුවට සහභාගිවූ ආයතනය ඊට අදාල කරුණු ඉදිරිපත්කළ අතර කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අදාල අංශවලට නියෝග කළේ මගී ප්‍රවාහන බස් රථ ආනයනය සහ වහාන වල වායු විමෝචනය අධීක්ෂණය පරීක්ෂණය සහ නියාමය පිළිබදව කරුණු ඇතුලත් වාර්තාවක් මාස දෙකක් ඇතුලත කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

t

o

p